අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු ශ්‍රී ලංකා අගමැතිවරු සාර්ථක සාකච්ඡාවක- සුවිශේෂී තීරණ කීපයක්

    පෙබරවාරි 09, 2020

    ඉන්දියාවේ නිල සංචාරයක් සිදු කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතර නිල හමුව ඉතාමත් සාර්ථක ලෙස සිදුව ඇති අතර සුවිශේෂී සාකච්ඡා රැසක් මෙන්ම තීරණ රැසකට එළැඹීමට දෙරට අග්‍රාමාත්‍යවරුන්ට හැකි වී තිබේ.

     

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා මා අතර ද්වී පාර්ශ්වීය සාකච්ඡා නවදිල්ලි නුවර දී පැවැත්විණි.

     

    අග්‍රාමාත්‍ය මෝදි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැදගත් කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කර තිබේ. සාකච්ඡාවල ප්‍රධාන අවධානය යොමු වූයේ පසුගිය නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ සිදුකළ සාර්ථක රාජ්‍ය සංචාරය අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා සමඟ පවත්වන්නට යෙදුණූ සාකච්ඡාවල ප්‍රතිඵල සම්බන්ධයෙනි.

    ඉන්දීය රජය අනුගමනය කරන අසල්වැසියාට පළමු තැන” යන ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාව හා පවත්වන සම්බන්ධතාවන්ට ලබා දී ඇති ප්‍රමුඛතාව පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි මහතාට අග්‍රාමාත්‍යවරයා කෘතඥතාව පිරිනමා ඇත.

    දෙරට අතර ඇති සහයෝගිතාවය බහුවිධ අංශ කෙරෙහි යොමු විය යුතු බවට ශ්‍රී ලංකාව විශ්වාස කරන අතර රාජ්‍ය ආරක්ෂාව, ආර්ථීක සංස්කෘතික සහ සමාජයීය යන අංශ ඇතුළු තවත් අංශ ගණනාවක් කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වෙනු ඇත.

    පැවැත්වූ සාකච්ඡාවලදී අවධානය යොමු කළ එක් අංශයක් වශයෙන් දෙරටේ රාජ්‍ය ආරක්ෂාවට අදාළව පවත්නා සහයෝගීතාවයයි. අපගේ බුද්ධි අංශවල හැකියාවන් වැඩිදියුණු කිරීමටත්, ත්‍රස්තවාදය පිටු දැකීමටත් ඉන්දියාවෙන් ලැබුණු නිරන්තර සහයෝගය අඛණ්ඩව අප වෙත ලැබෙනු ඇතැයි ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙයි.

    පසුගිය අප්‍රියෙල් මස අප ලැබූ අත්දැකීම් වලට අනුව අපගේ ජාතික ආරක්ෂක මූලෝපායන් පිළිබඳව නැවත වරක් සිතා බැලීමට සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත දක්වන සහාය අග්‍රාමාත්‍යවරයා ඉතා අගය කොට සළකා තිබේ.

     

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉතා කෙටි කළක් ඇතුළත අග්‍රාමාත්‍ය මෝදි මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරය පිළිබඳව ද ආග්‍රාමාත්‍යවරයා ප්‍රසංසා කර තිබේ.. ඉතා අභාග්‍ය සම්පන්න අවස්ථාවකට මුහුණ දී සිටි ශ්‍රී ලංකාවට එයින් අත්මිදී යළි යථා තත්ත්වයට පත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එම සංචාරය මහත් අස්වැසිල්ලක් වූ බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

    අග්‍රාමාත්‍ය මෝදි මහතා ශ්‍රී ලාංකීය ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙත ලබා දුන් ඩොලර් මිලියන 400ක ණය ආධාරයත් ත්‍රස්තවාදය පිටු දැකීම වෙනුවෙන් ලබා දුන් ඩොලර් මිලියන 50 ණය ආධාරයත් අග්‍රාමාත්‍යවරයාගේ අගය කිරීමට ලක් විය. නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ සංචාරය අතරතුරදී ගත් මෙම ප්‍රයත්නයන් සම්බන්ධයෙන් පසු විපරම් කටයුතු සිදුකිරීම ගැනත් සාකච්ඡා කර තිබේ.

    නිවාස ඉදිකිරීම් සහ ප්‍රජා පහසුකම් සැපයීමට අදාළව ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති ඇතුළුව ඉන්දියානු අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙමින් පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

    දිවයිනම ආවරණය වන අයුරින් අදාළ නිවාස ව්‍යාපෘතිය පුළුල් කිරීමට තවදුරටත් සහයෝගය ලබා දීමට කටයුතු කරන මෙන් අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. එමඟින් රටේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙත වැඩි ප්‍රතිලාභ ලබා දීමට හැකිවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

    ආර්ථික වශයෙන් දෙරටටම වැදගත් වන කාරණාවල දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සාමූහිකව කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව නායකයින් දෙපළගේ අවධානය යොමු කර තිබේ. ලෝකයේ වර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් සහිතව සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණෙන ඉන්දීය ආර්ථිකය, වඩා ස්ථාවරව පවත්වාගෙන යන ඇතැම් ආර්ථිකමය අංශ තුළින් ශ්‍රී ලංකාව වැනි රටකට ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ද මහින්ද රාජපක්ෂ ආග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මෝදි මහතා සමඟ සාකච්ඡා කර තිබේ..

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ නිපුණතා සහ හැකියාවන් සංවර්ධනය යන අංශයන් හි ඉන්දීය සහයෝගය සහ අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන මෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

    නුදුරු දිනකදී ම යළිත් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන මෙන් අග්‍රාමාත්‍ය මෝදි මහතා වෙත කළ ආරාධනය යළිත් සිහිපත් කරන අතර ශ්‍රී ලාංකික සැම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරයි.

    ශ්‍රී ලංකාවේ ආසන්නම අසල්වැසියා මෙන්ම දීර්ඝ කාලීන මිතුරා ද වන ඉන්දියාවේ සංචාරය කිරීමට ලැබීම ගැන ඉමහත් සතුටට පත් වන බව සඳහන් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වසර දෙදහසකටත් අධික අතීතයක් දක්වා විහිදෙමින් දෙරට අතර පවතින ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික සබඳතා හවුල්කාරීත්වයට ශක්තිමත් පදනමක් සපයන බව ද පවසයි.

    අවසාන වශයෙන් තමන් ඇතුළු නියෝජිත පිරිස වෙත මෙම රාජ්‍ය සංචාරය මුළුල්ලේ ලබා දුන් අනර්ඝ ආගන්තුක සත්කාරය සහ අනෙකුත් සියලුම පහසුකම් වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ ඉන්දීය රජය වෙත අග්‍රාමාත්‍යවරයා හදපිරි ස්තූතිය පිරිනමා තිබේ.

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya