අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික වශයෙන් පීඩාවට පත්ව ඇති සියලු දෙනාටම සහන ලබා දෙනවාත් සමඟ ආර්ථිකයද නංවන්නට ද නව ගැම්මක් ලබා දිය යුතුයි

    නොවැම්බර් 26, 2019

    ආර්ථික වශයෙන් පීඩාවට පත්ව ඇති සියලු දෙනාටම සහන ලබා දෙනවාත් සමඟම ආර්ථිකයද නංවන්නට ද නව ගැම්මක් ලබා දෙන්නට අප කටයුතු කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(25) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් පැවසීය.

    එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අග්‍රාමත්‍යවරයා;

     

    අග්‍රාමාත්‍ය ලේකම්තුමා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන් මහත්ම මහත්මිනි, හිතවතුනි,


    මම මුලින්ම ඔබ ඉතා උණුසුම් ලෙස මා පිළිගැනීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මා මේ රටේ මුදල් ඇමතිවරයා වශයෙන් පත් වන්නේ හතරවන වතාවටයි. එලෙස පත් වූ සෑම අවස්ථාවකදීම විශේෂ අභියෝගවලට අපට මුහුණ දීමට සිදු වූ බව ඔබට මා අමුතුවෙන් කිව යුතු නෑ.මෙවර භාර දුන් කාර්යභාරය මා වෙත පැවරී ඇත්තේ අපේ රටේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක තිබෙන අදියරක බව මුදල් අමාත්‍යාංශය ඔබ සියලු දෙනා හොඳටම දන්නවා.
    ඒ නිසා අද පවතින තත්ත්වය මනාව තේරුම් ගැනීම සඳහා 2014 අද වන විට අපේ ආර්ථිකය දෙස හැරී බලන්නේ නම් යෝග්‍ය යැයි මා විශ්වාස කරනවා. 2014 වන විට අවුරුදු පහක් තිස්සේ අපේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6.7% ක සාමාන්‍ය වේගයක් තිබුණා. ආර්ථිකයේ දළ දේශිය නිෂ්පාදිතයේ වටිනාකම 2005 තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට 2014 ඇමරිකානු ඩොලර් බිලියන 79 දක්වා වැඩි වී තිබුණු බව ඔබ දන්නවා. උද්ධමනය 3.3 ක් පමණ තත්ත්වයක් තිබුණේ. විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන දෙකේ සිට බිලියන 8.2ක ඓතිහාසික උපරිම මට්ටමකට තිබුණු බව ඔබ දන්නවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල් 130 ක පමණ ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යන්න පුළුවන් වුණා. දුගී දුප්පත්කම සීඝ්‍රයෙන් අඩු වී තිබුණා. විදුලිය අඛණ්ඩව රටේ සියලු දෙනාටම ලැබෙමින් තිබුණා. 98% පමණ අයවැය පරතරය ඉතා අඩු මට්ටමක පැවතුණා. බදු බර ජනතාවට ඉසිලිය හැකි මට්ටමක තිබුණා. ණය බරතාවය දළ දේශිය නිෂ්පාදනයට සාපේක්ෂව 2005 තිබූ 91% සිට 71% දක්වා මට්ටමකට අඩු වෙමින් තිබූ බව ඔබ දන්නවා.


    ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදවලට එඩිතරව සහ වෘත්තිමය ආකාරයට සාර්ථකව මුහුණ දීමට හැකි වූ ශක්තිමත් ආර්ථික පසුබිමක් අපට තිබුණු බව ඔබ දන්නවා. රටේ පැවති අභ්‍යන්තර මානුෂික මෙහෙයුමට අවශ්‍ය වූ සම්පත් ජනතාව මත බර පටවන්නේ නැතිව සොයා ගැනීමට ඔබේ මුදල් අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා ඇතුළු මුදල් අමාත්‍යාංශයට හැකියාව තිබුණා.

    තනි ඉලක්කම් පොලී අනුපාතිකය රටේ ස්ථාපනය වී තිබුණා. දිගින් දිගටම වර්ධනය වෙමින් පැවති ව්‍යාපාර රට පුරාම මුදල් ගැවසෙන වාතාවරණයක් රටේ තිබුණා. වරායන්, විදුලි බලාගාර, ගුවන් තොටුපොළවල්, අධිවේගී මාර්ග, මහා මාර්ග, කාපට් පාරවල් සහ කොන්ක්‍රීට් පාරවල්, විවිධ ගොඩනැගිලි,රජයේ ගොඩනැගිලි සහිත යටිතල පහසුකම් වැල නොකැඩී සිදු වුණා. දේශිය හා විදේශිය ආයෝජකයින් ආර්ථිකය කෙරෙහි දැවැන්ත විශ්වාසයක් ගොඩ නගාගෙන ආවා. කෙටියෙන්ම කියනවා නම් අප රට එකම වැඩපිළිවෙළක් ලෙස දිස් වූවා යැයි කිවහොත් එය නිවැරදියි.

    2015 ජනවාරි 08 වනදා යහපාලන ආණ්ඩුවට භාර දී ගෙදර යනකොට තිබුණේ මේ තත්ත්වය. එහෙත් අද අප රටේ ආර්ථිකය තිබෙන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් තත්ත්වයක බව අප හැමෝම දන්නවා. රටේ මූර්ත ආර්ථිකය, බාහිර අංශය, මුදල් අංශය, රාජ්‍ය අංශය සහ මූල්‍ය පද්ධති අද සෑම පැත්තකින්ම පාහේ දුර්වල වෙලා. ආර්ථිකය කෙරෙහි ආයෝජකයන්ගේ සහ රටේ ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන් ම පාහේ නැතිවෙලා. සියලුම පොලී අනුපාතික දෙගුණ වෙලා. විදේශ සංචිත වර්තමානයේ තිබිය යුතු මට්ටම මෙන් හරි අඩකට වඩා අඩු වෙලා. ආර්ථික වර්ධන වේගය අපේ කාලයේදී ආසියාවේ රටවල් අතුරින් ඉහළතම මට්ටමේ තිබුණට අද තිබෙන්නේ අවම මට්ටමේ. රාජ්‍ය අංශය දැවැන්ත ලෙස කඩා වැටිලා. ආයෝජකයන් මේ රටට පැමිණෙන්නේ නැති තරම්.


    යම් වර්ධනයක් වාර්තා කළ එකම ක්ෂේත්‍රය වූ සංචාරක ක්ෂේත්‍රයත් පාස්කු ඉරිදාවෙන් පසු කඩා වැටුණා. ව්‍යාපාර දහස් ගණනින් වැහිලා. බැංකු සහ මූල්‍ය ආයතනවල පොලී ණය ඉතිහාසයේ කිසිදා නොතිබූ මට්ටමකට ඉහළ නැගලා.
    රජයේ ණය බරතාවය, දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව 100% ක කිට්ටු අගයකට පත් වෙලා. රුපියල පුදුමාකාර කඩා වැටීමකට ගොදුරු වෙමින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 180ත් ඉක්මවා ගිහින්. රුපියලේ පිරිහිම නිසා පමණක් රජයේ ණය බරතාවය පසුගිය වසර හතර තුළ රුපියල් බිලියන 1760 ක් එකතු වෙලා. බදු ව්‍යුහය සහ ප්‍රතිපත්ති සංකීර්ණ වෙලා. විවිධ නම්වලින් ජනතාව මත පනවන ලද බදු බර දෙගුණ වෙලා. ජනතාවට උහුලන්න බැරි තරම් ජීවන වියදම ඉහළ ගිහින්. උද්ධමනය දෙගුණ වෙලා. ගොවීන් සහ කුඩා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් බොහෝ දෙනෙක් විනාශ වෙලා. ඉදිරියේදී ණයක්වත් ගන්න බැරි වන ආකාරයට ඒ අයගේ නම් නිබ් ආයතනයේ ණය පැහැර හරින්නන් ලෙස වාර්තා වෙලා. නැගී එන දේශිය කොන්ත්‍රාත්කරුවෝ බොහෝ දෙනෙක් බංකොලොත් වෙලා. දුගී දුප්පතුක් හට ලබා දෙන සුභ සාධනය දේශපාලනීකරණය වෙලා. එපමණක් නොව රාජ්‍ය බැංකු කළමනාකරණ දේශපාලනික අවශ්‍යතාවන් අනුව සිදු වෙනවා.


    මුළු ආර්ථිකයම විනාශයට තුඩු දුන් මහබැංකු බැඳුම්කර වංචාව සිදු කරලා එය වසන් කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. ඒ සමගම FCID වැනි ආයතන මගින් රාජ්‍ය සේවකයින්ට විවිධ චෝදනා එල්ල කරමින් ඔවුන් තීරණ නොගන්නා තත්ත්වයකට පත් කළ නිසා මුළු රාජ්‍ය සේවයම අකර්මණ්‍ය වෙලා. අප රටේ ආර්ථිකය, ස්වෛරීභාවය අභ්‍යන්තර මූල්‍ය අරමුදලට යටත් වෙලා යැයි මහ බැංකු අධිපතිවරයා පවසන තත්ත්වයට දැන් ආර්ථිකය වැටිලා. මේ සියලු දේ නිසා අපේ මුළු ආර්ථිකයම දැන් එක තැන හිර වෙලා. පසුගිය වසර පහක පමණ කාලයක් තුළදී හිටපු මුදල් ඇමතිවරයා ලෙස මෙම අසුබවාදී තත්ත්වය පිළිබඳව විටින් විට ප්‍රකාශන නිකුත් කළා රටේ ජනතාවට දැන ගන්නට. ඒත් ඒවා හිටපු මුදල් ඇමතිවත් අගමැතිවරයාවත් ගණන් ගත්තේ නෑ. අපට දොස් කිව්වා ඇරෙන්න එම තත්ත්වය වෙනස් කිරීමට ඔවුන් කටයුතු කළෙත් නෑ.


    ඒත් රටේ වාසනාවට අවුරුදු පහක් තිස්සේ ජාතික ආරක්ෂාව, රටේ සංස්කෘතිය, ආර්ථිකය විනාශ කරමින් ස්වෛරීභාවය විශාල ලෙස අවදානමකට ලක් කළ ඒ රජයට පැහැදිලි පණිවුඩයක් අපේ රටේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී ලබා දී තිබුණා. ඒ දූෂිත සහ අදක්ෂ රජය පරාජයට පත් කළා. ඒ අනුව රටේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනවරමකින් පත් කළා. දැවැන්ත ජන වරමකින් කිවහොත් නිවැරදියි.


    එම පත්වීම සමගම හිටපු අගමැති ඉල්ලා අස් වීමෙන් නැවත වරක් මුදල් අමාත්‍යාංශයෙහි භාරදූර වගකීම මට භාර දීලා තිබෙනවා. එය ඉතා අභියෝගාත්මක කාර්යභාරයක් බව හොඳටම දන්නවා. ඒ මන්ද කිවහොත් අද රට වැටී තිබෙන ආර්ථික ආගාධයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගැනීම රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා.


    ඒ සඳහා අප නව ආකාරයට සිතමින් ජනතාවට දැනෙන ව්‍යාපාරිකයන්ට විශ්වාසය තැබිය හැකි ප්‍රතිපත්ති ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතු කාලය ඇවිත්. අප එසේ කරන්නට සමත් වන විට අප රටේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය නැවත ගොඩ නැගේවි. ආයෝජනය වැඩි වේවි. දැනට ආර්ථිකයේ පවතින හානිකර තත්ත්වය වෙනුවට සත් ගුණවත් චක්‍රයක් රටේ නිර්මාණය වේවි. රටේ දුප්පත් ජන කොටස්වලට සහන ලැබේවි. ඔවුන්ගේ බලාපොරොත්තු ගොඩ නැගේවි. ගොවීන්, ධීවරයන්, කුඩා කර්මාන්තකරුවන්, මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන් සහ ඉහළ පෙළේ සමාගම් නැවත පණ ගැන්වේවි. රටේ වර්ධනය දැනෙන පෙනෙන මට්ටමකට ලැබේවි. දේශිය ආර්ථිකයත් ගොඩ නංවා ගැනීමට දේශිය ව්‍යාපාරිකයන් බිහි වේවි. ශක්තිමත් වේවි. මූල්‍ය ආයතන රැකේවි. සර්ව ආර්ථික සාධක යහපත් අතට හැරේවි. මිත්‍රවරුනි මේ තත්ත්වය ඉතා ඉක්මණින් නිර්මාණය කිරීම ඔබගේ සහ අපගේ වගකීමක් වශයෙන් පසුගිය ජනාධිපතිවරණයෙන් ජනතාව ඉතා ඉහළ ප්‍රතිශතයකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කර ගත් එක හේතුවක් නම් ඒ වෙනස ඇති කර ගන්න.


    මාගේ 2005 සිට 2014 දක්වා වසර නවයක කාලයේ රජය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයද කිසි විටෙක දුන් පොරොන්දු කඩ නොකරන බව මා මේ අවස්ථාවේදී මතක් කරනවා. අපි කියන දේ කරනවා. නව රජය ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කරන්නට බලාපොරොත්තු වන බව දැනටමත් දන්නවා. වෘත්තියමය ලෙස සකස් කොට ඇති සැලැස්මක් සහ ප්‍රතිපත්ති මාලාවක් අනුව ඉදිරි කාලයේදී එසේ කරන්නට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා දන්වා සිටියි.

    ඒ සඳහා දැනටමත් ආර්ථිකය පුනර්ජීවනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කොට හමාරයි. ඒවා ඉතා ඉක්මණින් දියත් කිරීමට මේ වන විටත් අප පාලන ව්‍යුහය සකස් කරමින් සිටිනවා. ඒ තුළින් ආර්ථික වශයෙන් පීඩාවට පත්ව ඇති සියලු දෙනාටම සහන ලබා දෙනවාත් සමගම ආර්ථිකයද නංවන්නට ද නව ගැම්මක් ලබා දෙන්නට අප කටයුතු කළ යුතුය. අප එසේ කරනවාත් සමගම අපගේ දිගු කාලීන ආර්ථික සැලැස්මක් සහ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු ඉලක්ක සියල්ලමත් සාර්ථකව සපුරා ගැනීමට අපට හැකි වේවායි අපි තරයේ ම විශ්වාස කරනවා. ඒ සියල්ල ම අපට කළ හැකි වන්නේ අප මහත් කැපවීමකින් සහ උනන්දුවකින් ඉදිරි වසර කිහිපය තුළ කටයුතු කරන්නේ නම් පමණක් බව අප සියලු දෙනා මතකයේ තබා ගත යුතු වෙනවා.
    එය එසේ කිරීමට ඔබ සියලු දෙනාගේම උපරිම සහයෝගය අප බලාපොරොත්තු වෙනවා. එවැනි සහයෝගයක් සහ ශක්තියක් ඔබ සියලු දෙනා අපට ලබා දෙයි යැයි අප විශ්වාස කරනවා. එසේ නම් අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින්අ ප රටේ ජනතාවගේ ආර්ථිකමය වශයෙන් ශක්තියක් ලබා දෙන්නට අපට හැකි වේ යැයි ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නොව මං කියන්න ඕනි අද FCID අරන් යනවා කියන එකම තමා ලොකුම බය. රජයේ නිලධාරීන් ඔක්කොම අරගෙන ගියා. නමුත් සද්භාවයෙන් කරන ක්‍රියාවලට ඉදිරියේදී ඒ අය පනතකින් හෝ ඔවුන්ට අනාගතයේදී ආරක්ෂාව සැලසීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් මම මේ අවස්ථාවේදී තමුන්නාන්සේලාට මතක් කර දිය යුතුය. එසේ මතක් කරමින් ඔබ වෙනුවෙන් ලේකම්තුමා කියූ පරිදි ලේකම්තුමා සෑම අවස්ථාවකම ඉන්නවා වගේම ඔහු ප්‍රකාශ කළ පරිදි අපි ඇමතිවරයෙකු වශයෙන් පමණක් නොව කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුවත් ඔබ වෙනුවෙන් පෙනී සිටීමට කිසි විටෙක පසුබට නොවන බව මතක් කරමින් ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණ පතමි.


    ඔබට සුබ අනාගතයක් කියා ප්‍රාර්ථනා කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya