අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක් ජයග්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව ජනපති අවධාරණය කරයි

    නොවැම්බර් 02, 2019

    රටක් ජයග්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව අවධාරණය කරන ජනාධිපතිතුමා අද දවසේ ඉටුකිරීමට නොහැකි වූ දේ හෙට දවසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු බව අවධාරණය කරයි.

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරුණු සංවර්ධන කාර්යයන් රැසක් ජනතා අයිතියට පවරාදීම සහ ප්‍රතිලාභ බෙදාදීම  (01) දිනය පුරා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර පොළොන්නරුව මහ රෝහලේ විවෘත කිරීම් රැසකින් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රට වශයෙන් ඉටුකළ කාර්යභාරයට ප්‍රමුඛත්වය ලබාදුන්නා සේම පොළොන්නරුවට සංවර්ධනයේ සාධාරණයක් ඉටුකිරිමට තමා ගත් වෙහෙස අද මල් ඵල ගැන්වී තිබෙන බවයි.

    පොළොන්නරුව සංවර්ධනයට තමාට සියලුදෙනාගෙන් ලැබුණු සහය රට වශයෙන්ම ගෙන ගිය වැඩපිළිවෙළට ද හිමිවූවානම් අද රට ද පුළුල් වෙනසකට ලක්ව තිබෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස සමඟ රට සහ ජනතාව වෙනුවෙන් සුවිශේෂ වැඩකොටසක් තම පස් වසරක ධූර කාලය තුළ ඉටු කිරීමට හැකි වුව ද තමා රටත් ජනතාවත් වෙනුවෙන් තැබූ අපේක්ෂාවන්ගේ සහ අධිෂ්ඨානයන්ගේ අවසානය කරා ළගාවීමට බොහෝ බාධාවන් මතු වූ බව ද කියා සිටියේය.

    තම ප්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වල එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත් පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයන් ඉටුකිරීමට හැකිව තිබු බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

    පොළොන්නරුව ජනතාවගේ සුවහසක් අවශ්‍යතාවයන් ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව ඉටුකරදීම සඳහා “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 1500ක වියදමින් ඉදිකෙරුණු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය අද පළමුව ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    දෙපාර්තමේන්තු 25ක සේවාවන් එකම වහලක් යටදී පොළොන්නරුව ජනතාවට ලබාගැනීමට අවස්ථාව සළසමින් පොළොන්නරුව නව නගරයේ ඉදි කෙරුණු “මෙත්සිරිපාය” නව පරිපාලන ගොඩනැඟිල්ල ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණේ ඉන් අනතුරුවයි.

    රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ඉදිවූ සියලු පහසුකම් සහිත නිල නිවාස සංකීර්ණය අනතුරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    රුපියල් මිලියන 97කට අධික වියදමක් දරමින් ඉදිකෙරුණු පොළොන්නරුව නව පොලිස් අධිකාරි කාර්යාලය විවෘත කෙරුණේ ඉන් අනතුරුවයි.

    පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ හසිනි වාසනා සෙව්වන්දි දැරියගේ “මණ්කඩ රූ රටා 2019” සිතුවම් දැක්ම හා ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයට අනතුරුව ජනාධිපතිතුමා සහභාගී විය.

    පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හසිනි වාසනා සෙව්වන්දි දැරියට නව නිවසක් ලබාදීමට ද ජනාධිපතිතුමා කටයුතු කර තිබූ අතර ඊට උපහාර දක්වමින් මෙම උලෙළ සංවිධානය කර තිබුණු අතර එම දැරිය විසින් රචනා කරන ලද චිත්‍ර කතා පොත් 12ක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    සමස්ථ ලංකා බර එසවීමේ ශූරතාවය දිනාගත් විද්‍යාලයේ දරුවන්ට ත්‍යාග සහ සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විදුහල්පති රවීලාල් විජේවංශ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    පොළොන්නරුව සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකය සඳහා ඉදිකෙරුණු අංග සම්පූර්ණ පන්ති කාමර ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක්විය. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7.9 කි.

    රුපියල් මිලියන 63ක වියදමින් ඉදිකෙරුණු කදුරුවෙල සිව් මහල් තැපැල් සංකීර්ණ ගොඩනැඟිල්ල ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    පොළොන්නරුව මහ රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණේ ඉන් අනතුරුවයි.

    ඒ අනුව පොළොන්නරුව මහ රෝහලේ නව අක්ෂි සායන ගෙඩනැඟිල්ල, ක්‍රීඩා වෛද්‍ය හා ශරිර සුවතා මධ්‍යස්ථානය, විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය, ඇඳන් 120කින් සමන්විත නව ශල්‍ය වාට්ටු සංකීර්ණය, ඇඳන් 120කින් යුත් නව වාට්ටු සංකීර්ණය, හදිසි අනතුරු ප්‍රතිකාර සංකීර්ණය,මෙන්ම අධ්‍යක්ෂ/ නියෝජ්‍ය අධ්‍යක්ෂ/ විශේෂඥ වෛද්‍ය නිල නිවාස විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    බාහිර රෝගී අංශයේ රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා එම පද්ධතියේ ලියාපදිංචි කිරීම සහ පළමු සෞඛ්‍ය තොරතුරු අංකන කාඞ්පත ජනාධිපතිතුමා වෙත නිකුත් කිරීම ද සිදු කෙරිණි.

    එමෙන්ම සත්කාරක සේවා පිළිබඳ රෝගී තෘප්තිමත්භාවය මැනීම සඳහා වන Digital Customer Satisfaction සමීක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම ද සිදු වූ අතර පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පරිපාලන තොරතුරු හුවමාරුව විවෘත කිරීම සහ පුස්තකාල ස්වයංක්‍රීය පද්ධතිය දියත් කිරීමත්, රෝහල් සෞඛ්‍ය තොරතුරු පද්ධතිය E channeling සේවාවට සම්බන්ධ කිරීමත් සිදු කෙරිණි.

    ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිළදාරින් පිරිසක් ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya