මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෙටි කලක් හෝ තම රට සහ ජනතාව වෙනුවෙන් සේවාව ලබාදෙන්න – ජනපතිගෙන් රට හැර ගිය විද්වතුන්ට ආරාධනාවක්

    සැප්තැම්බර් 18, 2019

    උගතුන් රට හැර යෑම වළක්වා ගැනීමට සහ රටින් බැහැරව සිටින වෘත්තීයවේදින් නැවත රටට ගෙන්වා ගැනීමට සැලසුම්සහගත වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

    ඒ සඳහා වූ යෝජනා ප්‍රවිණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඊයේ (17) පස්වරුවේ කොළඹ, වාරිමාර්ග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

    ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් සහ වෘත්තීයවේදින් රට හැර යෑම රටේ සංවර්ධනයට ප්‍රබල අභියෝගයක් බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස කිසිවෙකුට සීමා මායිම් පනවා නැතත් තමන්ගෙන් රටට ඉටුවිය යුතු වගකීම් පිළිබඳ සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි. ප්‍රශ්න ගැටලු ඇතත් ඒවා විසඳා ගනිමින් කෙටි කලක් හෝ තම රට සහ ජනතාව වෙනුවෙන් සේවය කිරීම විද්වතුන්ගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා පැවසීය.

    ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාව නිල වශයෙන් ස්ථාපිත කිරීම සහ ඉංජිනේරු සභාවේ නිල කාර්යාලය විවෘත කිරිම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි නියාමන කටයුතු සඳහා පිළිගත් ආයතනික ව්‍යුහයක අඩුව සපුරාලමින් හා රටේ සංවර්ධනයට හා ඉදිරි ගමනට දැවැන්ත ශක්තියක් සපයමින් වසර 35ක පමණ දීර්ඝකාලීන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව පිහිටුවිමට පියවර ගැනිණි. ඒ මඟින් තැබු අපේක්ෂා රටේත්, ජනතාවගේත් යහපත වෙනුවෙන් සාර්ථික කර ගැනීමට හැකිවේවායි ද ජනාධිපතිතුමා සිය සුබපැතුම් පිරිනැමීය.

    එමෙන්ම සෑම වසරකම සැප්තැම්බර් 17 වන දිනය ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම ද මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.අතීතයේ සිටම වර්තමානය දක්වාත්, අනාගතයේදීත් සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ මහඟු කර්තව්‍යයේ නියමු මෙහෙවරක නිරත වන සමස්ත ශ්‍රී ලංකා ඉංජිනේරු ප්‍රජාවට උපහාර පිණිස සහ ශ්‍රි ලංකාවේ ඉංජිනේරු සභාවේ ප්‍රථම නිල කාර්යාලය විවෘත කෙරුණු අද දිනය සනිටුහන් කරමින් මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබේ.

    ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපති මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු මහාචාර්ය ටී.එම්. පල්ලෙවත්ත, ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු පී.ඒ.ඩී.ආර්. චන්ද්‍රසිරි, තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය දයන්ත එස්.විජේසේකර යන මහත්වරුන් වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව මඟින් පිරිනමන ලද සහතික පිළිගැන්වීම සිදු වුයේ ද ජනාධිපතිතුමා අතිනි.

    ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

    පාඨලී චම්පික රණවක, පී.හැරිසන් යන අමාත්‍යවරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya