අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට සංනිවේදනයේ නව පරිවර්තනයක් සනිටුහන් කරමින් නෙලුම් කුලුන ජාතියට දායාද කෙරේ

    සැප්තැම්බර් 16, 2019

    කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උස ම කුලුන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලුන ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) පස්වරුවේ විවෘත කෙරිණි.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙම ඉදිකිරීම ශ්‍රී ලාංකීය සංනිවේදනයේ නව පරිවර්තනයක් මෙන් ම ගොඩනැඟිලි තාක්ෂණයේ නව පිම්මක් බවයි.

    ජාතික සම්පතක්, සංනිවේදනයේ පරිවර්තනයක් ලෙස මෙම එෛතිහාසික කාර්යභාරය පිළිබඳ සතුටු වනවා සේ ම, ඒ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලයන 19 ක් වූ නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා චීන EXIM බැංකුව රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණයක් සැපයීමට එකඟ වී තිබුණි. මෙකී ඉදිකිරීම සඳහා 2012-01-03 වන දින චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ඇතිකර ගත් අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන් ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදු වූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවන අතර සිදුකළ විමර්ශනවල දී එම සමාගම ව්‍යාජ එකක් බව ද අනාවරණය වී තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමා විය. එහෙත් ඒ වන විටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයක ම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී. 2018 වසරට අදාළ ව ද ශ්‍රී ලංකාව එකී ණය වාරිකය වන රුපියල් කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයට ම වාර්ෂික ව ගෙවීමට සිදු ව ඇත. එමෙන් ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල් කෝටි 120ක මුදලක් මේ වන විටත් ගෙවා තිබේ. එමෙන්ම නෙලුම් කුලුනේ ඉදිරි ඉදිකිරීම් සඳහා තවත් රුපියල් කෝටි 300ක් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මහජන මුදලින් ඉදිකෙරුණු මෙම සම්පත ආරක්ෂා කර ගැනීමේ වගකීම ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා කියා සිටියේ නෙලුම් කුලුනේ ඉදිරි ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් එය රාජ්‍ය සමාගමක් බවට පත්කිරීමට කටයුතු කරන බවයි.ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර පෞද්ගලික සමාගමක ස්වරූපයෙන් කටයුතු කරන රාජ්‍ය සමාගමක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    අද දිනයේ විවෘත කෙරුණු නෙථම් කුලුනෙහි පාදමේ විශ්කම්භය මීටර් 45න් යුතු වන අතර, මීටර් 356 ක උසකින් යුක්තය. කුලුනේ ප්‍රධාන අංගය සන්නිවේදනය වන අතර කුලුනේ ඉහළ ඉදිකර ඇති ඇන්ටනා ආවරණයේ මු`ඵ දිග මීටර් 90ක් පමණ වේ. එම ඩිජිටල් ඇන්ටනාව උතුරට කි.මි. 60ක් හා දකුණට කි.මි. 60 සහ නැගෙනහිරට කි.මි. 50 හා බටහිරට කි.මි. 15ක් ආවරණය කෙරේ. මින් රූපවාහිනී සමාගම් 20 ක් ගුවන් විදුලි එෆ්.එම්. විකාශන සමාගම් 50ක් සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සමත් වේ.

    මෙම කුලුන ඉදිකිරීමේ මූලික සැලසුම් 2008 වසරේ දී සැකසෙන අතර 2012 දී එහි ඉදිකිරීම් ආරම්භ කළ අතර ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශකත්වය මොරටුව විශ්ව විද්‍යාලය වෙතින් ලැබිණි.ඉංජිනේරු විද්‍යාව, ව්‍යුහ ඉංජිනේරු විද්‍යාව, කොන්ක්‍රීට් තාක්ෂණය, උස් ගොඩනැගිලි කම්පන අධ්‍යාපන විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවල නිපුණතා සහිත ශ්‍රී ලාංකීය විද්වතුන්, ඉංජිනේරුවන් 70ක වඩා මේ සඳහා දායක වූ අතර රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ඉංජිනේරු, සිසු සිසුවියන් සිය ගණනකට ක්ෂේත්‍ර පුහුණුව ලබාගැනීමට අනගි අවස්ථාවක් ද මේ හරහා උදා කෙරේ. නෙලුම් කුලුන ජාතියට දායාද කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    නෙලුම් කුලුනට අදාළ වෙබ් අඩිවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. ජනාධිපතිතුමා චීන නියෝජිත පිරිස අතර සමරු තිළිණ හවුමාරුකර ගැනීම ද සිදු විය.
    කථානායක කරූ ජයසුරිය මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැතිඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ සභාපති, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් ද , චීන තානාපතිවරයා ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya