අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෝක පණිවුඩය-විචිත්‍ර දක්ෂතා රැසකින් සමන්විතව අනන්‍ය පෞරුෂයක් ගොඩනගා ගත් ගුවන්විදුලි ශිල්පිනියන් අතර, කුසුම් පීරිස් නාමය අද්විතීයයි

    ජූලි 22, 2019

    ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ විචිත්‍ර දක්ෂතා රැසකින් සමන්විතව අනන්‍ය පෞරුෂයක් ගොඩනගා ගත් ගුවන්විදුලි ශිල්පිනියන් අතර, කුසුම් පීරිස් නාමය අද්විතීය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    ශෝක පණිවුඩය

    ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ විචිත්‍ර දක්ෂතා රැසකින් සමන්විතව අනන්‍ය පෞරුෂයක් ගොඩනගා ගත් ගුවන්විදුලි ශිල්පිනියන් අතර, කුසුම් පීරිස් නාමය අද්විතීය වන්නේය. ශ්‍රව්‍ය කලාව හා සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවක් ස්පර්ශ කරන්නට සමත් වූ ඇය ඒ සෑම ක්ෂේත්‍රයකටම සාධාරණය ඉටුකරමින් තමාගේ අනන්‍යතාව සනිටුහන් කරන්නට තරම් ප්‍රතිභාවෙන්, කැපවීමෙන් සහ නිහතමානී ගුණයෙන් පිරිපුන්ව සිටියාය.


    කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය ආලෝකවත් කළ සුවිශේෂ කාන්තා හඬකි. විශේෂයෙන් ආරම්භක ගුවන් විදුලි ශිල්පිනියන් අතර ඇය කැපී පෙනුණු චරිතයකි. ගුවන් විදුලි නිවේදන කලාව තුළ පසුකාලීන ආධුනිකයින්ට අත්පොතක් වූ ප්‍රවීණ නිවේදිකාවකි.

    ගුවන් විදුලි රඟ මඬලට අත්‍යවශ්‍ය හඬ කැවීම් ශිල්පිනියක් වූ ඇය, රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් සමඟ හඬ කැවීම් ශිල්පිනියක් ලෙස රූපවාහිනියට ද සම්බන්ධ වූවාය. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, මෑත කාලයේ අයි.ටී.එන්. එෆ්.එම්. වැඩසටහන් සමඟ මහත්උ ද්‍යෝගයෙන් සම්බන්ධ වූ ඇය, නැවතත් ගුවන් විදුලි ක්ෂේත්‍රයේ කටයුතු කරන්නට හැකි වීම පිළිබඳව මහත් සතුටට පත්ව සිටියාය.

    ශ්‍රව්‍ය කලාව සම්බන්ධයෙන් ඈ තුළ වන ආත්මීය බැඳීම කෙබඳුදැයි වටහා ගන්නට එය අගනා අවස්ථාවක් විය. එසේම කුසුම් පීරිස් මහත්මිය මධුර ගේය පද රැසක් නිමැවූ ගීත රචිකාවියකි. ඇගේ ගේය පද රචනයෙන් හැඩ ගැන්වුණු ගී නිර්මාණ රැසක් අදත් එක සේ සහෘද සමාජය ආනන්දයෙන් පුරවමින් පවතින්නේය. කුසුම් පීරිස් මහත්මියගේ අභාවය සැල වූ සැණෙන් බොහෝ රසික පිරිස් ඇගේ මිහිරි ගී පද සටහන් කරමින් ශෝකය පළකළ ආකාරය ඇගේ ගීතවලට කොතරම් රසික ප්‍රසාදයක් හිමි වී ඇත්ද යන්නට කදිම සාක්ෂියකි.


    ප්‍රවීණ මාධ්‍යවේදිනී, ගී පද රචිකා කුසුම් පීරිස් මහත්මියගේ අභාවය ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ සපුරාලිය නොහැකි හිස්තැනක් ඇති කරවන්නකි. ඇයගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැම, ඥාති හිත මිත්‍රාදීන් වෙත මාගේත්, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේත් බලවත් සංවේගය පළකරමින් එතුමියට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනය කරමි.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    2019 ජූලි 22

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya