අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීම ආරක්ෂක හමුදාව සිදු කරද්දී බහුජන සමාජයක සංහිඳියාව සුරැකීමේ වගකීම ආගමික නායකයන්ට පැවරෙනවා- ජනපති

    මැයි 06, 2019

     අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම අපගේ ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව සඳහන් කරන ජනාධිපතිතුමා රටේ ජනතාව අතර විශ්වාසය පළුදුවීමට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර අවබෝධය සහ සහෝදරත්වය ගොඩනැංවීමේ වැඩපිළිවෙළ ආගමික නායකයන්ට පැවරෙන බව සඳහන් කරයි.

    ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (05) පස්වරුවේ කුරුණෑගල, වදාකඩ ශ්‍රී විජයසුන්දරාරාම ටැම්පිට පුරාණ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තමා මෙරට ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති අතර කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට ඉඩ තබා නොමැති බවයි. අයිඑස් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් පරාජය කිරීමේ දී විදේශීය බුද්ධි අංශ ද අපගේ බුද්ධි අංශ සමඟ එක්ව කටයුතු කිරීම වැදගත් අතර, විදේශීය බුද්ධි අංශවලින් අවශ්‍ය ප්‍රයෝජන පමණක් ලබා ගැනීම රජයක වගකීම බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    අන්තවාදී සුළු පිරිසක් සිදු කළ මෙම ම්ලේච්ඡ ක්‍රියාව හේතුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස සැකයෙන් බැලීම සුදුසු නොවන බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ එය ජාතියක් ලෙස අප ඉදිරියට යන ගමනට බාධාවක් බවයි. එබැවින් ම්ලේච්ඡ ත්‍රස්තවාදය විනාශ කිරීම නියත වශයෙන්ම සිදු වන අතර රටේ ජන කොටස් අතර අවිශ්වාසය සහ බිය තුරන් කර සාමකාමී නිදහස් සමාජයක් සඳහා ද අප කඩිනමින් ප්‍රවේශ විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද අයිඑස් ත්‍රස්තවාදය ශ්‍රි ලංකාවට පමණක් නොව ඇමරිකාව, යුරෝපය වැනි ඉහළ ආරක්ෂක විධිවිධාන ඇති ලොව ප්‍රබල රටවලට ද අභියෝගයක්ව පවතින බවයි. මෙම අභියෝගය සඳහා විසඳුම් සෙවිය හැක්කේ සාමුහිකත්වය මඟින් පමණක් වන අතර ත්‍රස්තවාදය ශ්‍රි ලංකාවෙන් විනාශ කර දැමීමේ වැඩපිළිවෙලට පක්ෂ, ජාති, ආගම් බේදයකින් තොරව සියලුදෙනාගේ සහය හිමිවීම පිළිබඳව ද ජනාධිපතිතුමා සතුට පළ කළේය.

    හෙට ආරම්භ කෙරෙන නව පාසල් වාරය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දිවයිනේ සියලු පාසල් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි. ආරක්ෂාව අවශ්‍ය සියලු ස්ථානවලට ආරක්ෂාව ලබාදීමට මෙරට ආරක්ෂක අංශ ශක්තිමත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් එම වැඩපිළිවෙළට සහය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

    කුරුණෑගල, වදාකඩ ශ්‍රී විජයසුන්දරාරාම ටැම්පිට පුරාණ විහාරයේ බෝධින් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන්වැට සහ ශ්‍රී සම්බුද්ධ අසු මහා ශ්‍රාවක චාරිකා පුදබිම අද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර අභිනව රන් වැට විවෘත කිරීමෙන් අනතුරුව බෝධින් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත විය.අනතුරුව ශ්‍රී සම්බුද්ධ අසු මහා ශ්‍රාවක චාරිකා පුදබිම ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    ඉන් අනතුරුව පැවති උත්සව සභාවේ දී එම මූර්ති නිර්මාණය කළ නිර්මාණ ශිල්පියා වන එස්.ජේ. සොමිරත්න මහතා වෙත ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් පිළිගැන්විණි. දෙමටවැව, දික්වැහැර උභය විහාරාධිපති වයඹ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය රැකව ජිනරතන නායක ස්වාමින් වහන්සේ, වෙහෙරපිටිය පිරිවෙන් විහාරය ප්‍රමුඛ විහාරත්‍රයාධිකාරි ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී පූජ්‍ය තෙල්දෙණියේ රතනාසාරාභිධාන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya