මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය ලබාදෙන බවට විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති

    අප්‍රේල් 23, 2019

    ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය ලබාදෙන බවට විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති.

    ශ‍්‍රී ලංකාවේ මතුව ඇති ත‍්‍රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පළ කරන බව විදෙස් තානාපතිවරු පවසති.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ප‍්‍රධානින් අතර හමුවක් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහි දී ඔවුහු මේ බව අවධාරණය කළහ.

    මෙහිදී ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කළ ජනාධිපතිතුමා මතුවු හදිසි තත්ත්වය මැඩපැවැත්වීමට ගත් පියවර පිළිබඳව ද පැහැදිලි කළේය. ප‍්‍රහාර එල්ල වූ වහාම එම ස්ථාන වටලා අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර විමර්ශන කටයුතු ද විධිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එම විමර්ශන කටයුතුවල දී ශ‍්‍රී ලංකාවේ පසුගිය වසර 30 ක යුද්ධයේ අත්දැකීම් මෙන්ම පසුගියදා මහනුවර සිදුවීම පිළිබඳව ලැබු අත්දැකීම් ද ඉවහල් කරගන්නා බව සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරි විමර්ශන කටයුතු සඳහා තාක්ෂණික සහයෝගය ලබාදීමට ත‍්‍රස්තවාදය මැඬලීම පිළිබඳ උසස් තාක්ෂණික දැනුම සහිත බලවත් රටවල් 08 ක් මේ වන විට ශී‍්‍ර ලංකාවට කැමැත්ත පළ කර තිබෙන බව කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය රජය කිසිසේත් අපේක්ෂා නොකරන ලද්දක් බවයි. මෙවන් ප‍්‍රහාරයක් පිළිබඳ වාර්තා බුද්ධි අංශයට ලැබී තිබුණ ද, ප‍්‍රමාණවත් සාක්ෂි නොමැතිව අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට බලතල නොතිබූ අතර, කෙසේ වෙතත් ඉදිරියේ දී ඇතිවිය හැකි මෙවන් තත්ත්වයන්ට මුහුණදීමට ආරක්ෂක අංශ ශක්තිමත් කර තිබෙන බවත්, එමෙන්ම ඇතිවිය හැකි ප‍්‍රවනතාවයන් සමඟ ඉදිරියේ දී ආරක්ෂක අංශවල ප‍්‍රතිසංශෝධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා ස`දහන් කළේය.

    ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ඊයේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය අනුව ත‍්‍රස්ත මර්දනය සඳහා ඝෘජුවම ආරක්ෂක හමුදාවන් වෙත බලතල හිමිවන බවයි. ඒ අනුවත්, ජාත්‍යන්තරයේ සියලුදෙනාගේ සහය ලබාගනිමින් සහ ත‍්‍රස්ත මර්දනය පිළිබඳ දේශීය අත්දැකීම් සහ දැනුම උපයෝගි කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ මතුව ඇති ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කඩිනමින් හැකිවනු ඇති බව තමා විශ්වාස කරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    එමෙන්ම ජනාධිපතිතුමා සඳහන් කළේ හදිසි නීතිය සිවිල් වැසියාට එරෙහිව භාවිතා නොකරන බවට සහතික කිරීමේ වගකීම තමා භාරගන්නා බවයි.

    සමාජ මාධ්‍ය තහනම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා එම තහනම නුදුරේදී ම ඉවත් කිරීමට කටයුතු යොදන බව සඳහන් කරන ලදී.

    ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ මෙම කනගාටුදායක සිදුවීම පිළිබඳව ශෝකය පළ කළ සියලු රාජ්‍ය නායකයන්ට සහ විදෙස් නියෝජිතයන්ට තම ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා මෙම අසිරු අවස්ථාවේ ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව සමග අත්වැල් බැඳගෙන සිටි සියලුදෙනා වෙත ජාතියේ කෘතඥතාව පළ කළේය.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ ලේකම් රවීනාත් ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya