අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මතින් නිදහස් රටක් වෙනුවෙන් ජාතියම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” අප්‍රේල් 03 වනදා

    මාර්තු 29, 2019

    දරුණු ව්‍යසනයක් බඳුව පැතිර යන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ මඟින් සිදුකරන අත්අඩංගුවට ගැනීම, වැටලීම් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මත පමණක් පාලනය කළ නොහැකි තත්ත්වකට පත්ව ඇති බැවින් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා පුළුල් ආකල්පමය වෙනසක් තුළින් මෙය පිටුදැකීමේ කාලය එළැඹ ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    ඒ සඳහා ප්‍රවේශය සනිටුහන් කරමින්, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය, නිවාරණය සහ මර්දනය සඳහා කැපවන බවට ජාතියම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අප්‍රේල් 03 වනදා සිදු කෙරෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මතින් නිදහස් රටක් සඳහා වූ බක්මහ දිවුරුම පිළිබඳ රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලු ක්ෂේත්‍ර දැනුවත් කිරීම වෙනුවෙන්  (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති හමුව අමතමිනි. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරු සහ මාධ්‍ය ආයතන නියෝජිතයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම අද ඉතාමත් අවාසනාවන්ත ලෙස සමාජය විනාශ කරමින් සිටින බවත්, මතු පරපුර වෙනුවෙන් එය පිටුදැකීමේ වගකීම ඉටුකිරීමට සියලුදෙනා අප්‍රමාදව ඒකරාශි විය යුතු බවත්ය. මත්ද්‍රව්‍ය මුළුමනින්ම සමාජයෙන් තුරන් කළ නොහැකි වුවත්, එය වේගයෙන් පැතිරයාම වළක්වාලමින් මර්දනය සහ නිවාරණය සඳහා කටයුතු කිරීමට ඇති හැකියාව පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම ආධ්‍යාත්මික වැඩසටහන් ඉතා වැදගත් බව ද සඳහන් කළේය.

    සෑම රාජ්‍ය ආයතනයකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකක පිහිටුවන ලෙස රජය මීට පෙර අවස්ථා කිහිපයක දී ලබාදුන් උපදෙස් පරිදි එම කටයුතු සක්‍රීයව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී ආයතන ප්‍රධානින්ට අවධාරණය කළේය.

    ජාතික, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම නියෝජනය කරනු ලබන සියලුම රාජ්‍ය සංස්ථා/ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන් හා සියලු කාර්ය මණ්ඩලවල සක්‍රීය දායකත්වයෙන් සහ දිවයින පුරා පාසල් සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් මතින් නිදහස් රටක් වෙනුවෙන් වූ බක්මහ දිවුරුම අප්‍රේල් 03 වනදා දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවේ. එහි සමාරම්භය වෙනුවෙන් කෙටි උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන අතර, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ට ජනාධිපතිතුමා ඒ සඳහා ආරාධනා කර තිබේ.

    මෙම සමාරම්භක අවස්ථාව විද්යුත් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරෙන අතර සියලුම කාර්ය මණ්ඩල ඒ හා සමගාමීව තම ආයතනවල සිට බක්මහ දිවුරුමට එක් වෙයි. එමෙන්ම එහි දී ජනාධිපතිතුමා ජාතිය අමතා සිදුකරනු ලබන ප්‍රකාශයට ද සියලුදෙනාට සවන් දිය හැකිය. ඉන් අනතුරුව මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන සඳහා සියලුදෙනාගේ දායකත්වය අවංකව, අප්‍රමාදව සහ දැඩි කැපවීමෙන් යුතුව ලබාදීමේ අවශ්‍යතාව තේමාකරගත් කෙටි දේශනයක් ආයතන ප්‍රධානියා විසින් පැවැත්වීමට නියමිතය.

    එමෙන්ම දිවයින පුරා පාසල් දරුවන් ද තම පාසල්වල සිට මෙම බක්මහ දිවුරුම සමග එක්වීමට නියමිතය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න යන මහත්වරුන් ද ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya