අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ කෙන්යාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර හමුවක්

    මාර්තු 17, 2019

    ආර්ථික වශයෙන් සමෘද්ධිමත් මෙන්ම විනයගරුක සහ සදාචාරවත් අනාගත පරපුරක් සිටින යහපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වන බව ජනාධිපතිතුමා පවසයි.

    තමන් එම කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ඉහළම කැපවීමක් සිදුකරමින් සිටින බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ කෙන්යාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ නයිරෝබි නුවර දී පැවති හමුවකදී ය.

    එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවීමට කෙන්යාවට ගිය ජනාධිපතිතුමා සිය සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට මෙලෙස එක් විය.

    මේ වන විට ශ්‍රී ලාංකිකයෝ කෙන්යාවේ ප්‍රධාන වශයෙන්, ඇඟලුම්, උද්‍යාන විද්‍යාව, ජල විදුලිය හා මෝටර් රථ පිළිබඳ ක්ෂේත්‍රවල පුහුණු රැකියාවල යෙදෙන අතර බොහෝ පිරිසක් විවිධ ව්‍යාපාර කටයුතුවල නියැළෙති. ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිතුමා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ කඩිනමින් සොයා බලන බව ද ප්‍රකාශ කළේය.

    මෙහිදී පැමිණ සිටි සියලුදෙනා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඉතා හරසරින් පිළිගත් අතර ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

    ශ්‍රී ලාංකික කුඩා දරු දැරියන්ගේ ඉදිරිපත් කිරීම් රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා මාතෘ භූමියට සාමය උදාවී මෙම 2019 වසරට දස වසරක් සපිරෙන අතර ,සාමයේ දස වස් සැමරුම, මෙම මැයි මාසයේ දී උත්කර්ෂවත් අන්දමින් සැමරීමට අපේක්ෂා කරන බවයි.

    රටේ සාමය සහ සියලු ජන කොටස් අතර තිබිය යුතු සංහිඳියාව සහ සහෝදරත්වය ආරක්ෂා කරමින් යහපත් සහ විනයගරුක රටක් ලෙස, රට සංවර්ධනය කරා ගෙන යාම තම අරමුණ බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    මානව සමාජයේ ප්‍රගමනය උදෙසා නිර්මාණය කළ නව තාක්ෂණික මෙවලම් වැරදි ලෙස භාවිතා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ සෙසු රටවල් ද මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිතුමා ඊයේ දින නවසිලන්ත රජය මුහුණ දුන් ඛේදනීය සිදුවීමට ද සමාජ මාධ්‍ය ඉවහල් වී ඇති බවට ඒ පිළිබඳ පළ වී ඇති වාර්තාවල පෙන්වාදී ඇති බව සඳහන් කළ අතර, පසුගියදා ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ ද සිංහල – මුස්ලිම් ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ කළේ ද සමාජ මාධ්‍ය විසින් බවට තොරතුරු සඳහන් වන බව කියා සිටියේය. කෙසේ වෙතත් නවීන තාක්ෂණය මානව සමාජයේ පරිහානියට නොව ප්‍රගමනය වෙනුවෙන් භාවිතා කිරීමේ වැදගත්ම ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුනිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya