අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්ප්‍රදායික භූමිකා අභිභවා බො‍හෝ උස් ස්ථාන කරා කාන්තාවට ගමන් කළ හැකි බව නුතන ස්ත්‍රිය සිය භාවිතයෙන් සනාථ කර ඇත

    මාර්තු 08, 2019

    සමාජය විසින් පවරන ලද මේ සම්ප්‍රදායික භූමිකා අභිභවා බො‍හෝ උස් ස්ථාන කරා කාන්තාවට ගමන් කළ හැකි බව නුතන ස්ත්‍රිය සිය භාවිතයෙන් සනාථ කර ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    එම පණිවුඩය මෙසේය.

    කාන්තාව අහිංසාවේ ප්‍රතිමූර්තිය බව මහත්මා ගාන්ධි පවසා ඇත. එය එසේ වුවත් සමාජය විසින් පවරන ලද මේ සම්ප්‍රදායික භූමිකා අභිභවා බො‍හෝ උස් ස්ථාන කරා කාන්තාවට ගමන් කළ හැකි බව නුතන ස්ත්‍රිය සිය භාවිතයෙන් සනාථ කර ඇත.

    ලෝක දේශපාලනයේ ශ්‍රී ලංකාවේ නම සටහන් ව ඇත්තේ පළමු අගමැතිනිය බිහි කළ රට වශයෙනි. බොහෝ ආසියාතික රටවලට පෙර ඡන්ද අයිතිය දිනාගත් ශ්‍රී ලංකාව, ලොව ප්‍රථම අගමැතිනිය පමණක් නොව, ප්‍රථම විධායක ජනාධිපතිනිය ද බිහිකිරීමේ ජගත් කීර්තිය අත් කර ගැනීමට සමත් විය. ඉකුත් වසරේ බීබීසී ලෝක සේවය නම් කළ ලෝකයට බලපෑම් කළ හැකි ස්ත්‍රීන් අතරට ශ්‍රී ලාංකික සමුද්‍ර ජීව විද්‍යාඥවරියක එක් වූයේ ද පිළිකා සෛල පාලනය සඳහා කරන ලද සාර්ථක වෛද්‍ය පර්යේෂණයක් වෙනුවෙන් ශ්‍රී ලාංකික වෛද්‍ය පර්යේෂිකාවක ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වූයේ ද එවරස්ට් තරණය කළ අභියෝගාත්මක කාන්තාවන්ගේ ලේඛනයට ඉකුත් වසරේ ශ්‍රී ලාංකික කාන්තාවගේ නම එක් වූයේ ද ශ්‍රී ලංකාවට අභිමානය රැගෙන එමිනි.

    එම අභිමානය අපේ රටට අහම්බෙන් හිමිවූවක් නො වේ. පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට, අධ්‍යාපනය ලැබීමට, සෞඛ්‍ය පහසුකම් මෙන් ම සංස්කෘතික, සමාජීය හා දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට පිරිමියාට ‍හෝ පිරිමි දරුවාට සමාන අයිතියක් කාන්තාවට හෝ ගැහැනු දරුවාට ඇති බවට රටක් ලෙස අප පිළිගැනීමේ ද එම අයිතීන් භුක්ති විඳීම සඳහා වැඩපිළිවෙළ සකස් කිරීමේ ද ප්‍රතිඵලයකි. එහෙත් එය මෙතැනින් නැවතිය යුතු නො වේ. කාන්තාවට සහ ගැහැනු දරුවාට එරෙහි ව පවත්නා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් මෙන් ම වෙනස් කොට සැලකීම් මුළුමනින් ම ඉවත් කිරීමට ද සමානයන් ලෙස ආදායම් උත්පාදනය කර ගැනීමට මෙන් ම ඒ පිළිබඳ තීරණ ගැනීමට ද රාජ්‍ය සේවාවේ ඉහළට පැමිණි ආකාරයෙන් දේශපාලන තීන්දු තීරණ ගන්නා ස්ථානයන්හි මුල් අසුන් දැරීමට සහ එම තීන්දු තීරණ වෙනුවෙන් බලපෑම් කිරීමට ද ශ්‍රී ලාංකික ස්ත්‍රියට හැකි විය යුතු ය.

    එවන් උස් ස්ථාන වෙත ශ්‍රී ලාංකීය කාන්තාව රැගෙන යෑම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ දී සැමරෙන ජාත්‍යන්තර කාන්තා දින උළෙලට මගේ සුබපැතුම් පළකරන අතර, එම උළෙල සංවිධානය වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් වෙත ප්‍රශංසාව පළකරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya