අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝගී දරු පරපුරක් බිහිකිරීමට ගුරුවරුන් මෙන්ම රජයත් සහය විය යුතුයි

    ජූලි 25, 2014
    දෙමාපියන් පමණක් නො ව ගුරුවරුන් මෙන් ම රජයත් නිරෝගී දරු පරපුරක් බිහිකිරීමට සහයෝගය ලබා දිය යුතු බවත් උපකාර කළ යුතු යැයි විශ්වාස කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. 
     
    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) අනුරාධපුර තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ පැවැති "පෝෂණයයි සුව දිවියයි" වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි. 
     
    "ලෝක ආහාර සංවිධානය හා සම්බන්ධ වෙමින්, උපදෙස් ගනිමින් ආරම්භ කරන මේ වැඩපිළිවෙළ අද රටපුරා ආරම්භ කරන ජාතික වැඩපිළිවෙළක පළමු රැස්වීම, ආරම්භක දිනය බවට පත්වෙනවා. ජුලි මාසයේ එය ආරම්භ කිරීමට ලැබීම පිළිබඳ ව මම වඩාත් සන්තෝෂ වෙනවා". 
     
    "අපි දරුවන්ට නිල ඇඳුම්, පොත්පත් නොමිලයේ ලබාදෙනවා. ඒ වගේ සපත්තු ලබාදීමේ වැඩපිළිවෙළත් අපි ක්‍රියාත්මක කරනවා. ඒවා අවශ්‍ය ප්‍රමාණය ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා තිබෙනවා. ඊට අමතර ව අද ආහාර වේල ගැන කටයුතු කරන්නත් අපි පියවර ගෙන තිබෙනවා. මේ සඳහා අපි දෙමාපියන්ගේ සහයෝගය අපේක්ෂා කරනවා". 
     
    "අපේ දරුවන්ට හැකියාව තිබෙනවා. අපිට ශක්තිය තිබෙනවා. ඉතිහාසයේ අපි චොක්ලට් කාලා නෙවෙයි වැව් අමුණු, වෙහෙර විහාර හැදුවේ. අපි ඒ පෝෂ්‍යදායි ආහාර වේල හඳුනාගන්න ඕනෑ. එම ආහාර වේල හඳුනාගෙන අපේ දරුවන්ට ලබාදීමයි අපි කළ යුත්තේ. අපි දන්නවා මේ පළාතේ වකුගඩු රෝගය විශාල වශයෙන් පැතිරිලා ගිහින් තියෙනවා. ඉතිහාසයේ මේවා ගැන කතා කළාට මේවාට පිළියම් යෙදීම ගැන කතා කළේ නැහැ. දැන් අපි එය ක්‍රියාත්මක කරනවා. පිරිසිදු ජලය ලබාදීමේ වැඩපිළිවෙළකට, අනුරාධපුර නල ජලය ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් වෙන් කරලා ඒ මූලික කටයුතු ආරම්භ කොට තිබෙනවා. අපි ඒවාට විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අපි වස විසෙන් තොර ආහාර වේලක් ගැන හොඳ ජලය ගැන කතා කරනවා".
     
    "අපේ පළාත්වල එදා විද්‍යාගාර තිබුණේ නැහැ. එදා හම්බන්තොට දිස්ත්‍රික්කයටම තිබුණේ නැහැ. එදා හම්බන්තොට දිස්ත්‍රික්කයටම තිබුණේ විද්‍යාගාරයක් තිබෙන ඒ ශ්‍රේණියේ පාසල් 01යි. ඒ වෙනකොට යාපනයට පාසල් 37ක් තිබුණා. මේ අසාධාරණය රට තුළ සිදුවෙනවා. ඒ නිසා තමයි අපි මුළු රටේම මෙය තුලනය කරන්න කල්පනා කළේ". 
     
    දරුවන්ට එක හා සමාන අධ්‍යාපනයක් ලබාදෙන්න අවශ්‍ය  මෙන්ම එය ඔවුන්ගේ අයිතියක් බවත් ඒ නිසා එකවර විද්‍යාගාර දහසක් ඉදිකිරීමට තාක්ෂණ විෂය හඳුන්වාදීමටත් කටයුතු කළ බවත් පෙන්වා දුන්නේය.
     
    තාක්ෂණ විෂය සඳහා අවශ්‍ය විද්‍යාගාර අලුතෙන් ඉදිවෙන අතර ම ඒ සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක් හදමින් පවතින බවත් මේ සියලු දේ සිදුකරන්නේ රටේ දරුවන් වෙනුවෙන් නිසා ඉන් ප්‍රයෝජන ගැනීමට දරුවන්, දෙමාපියන් හා වැඩිහිටියන් එය සම්බන්ධ විය යුතු බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya