අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ තීන්දුව කුමක් වුවත් තමා එය ගෞරවයෙන් භාරගන්නා බව ජනපති පවසයි

    දෙසැම්බර් 09, 2018

    අධිකරණ තීන්දුව කුමක් වුවත් තමා එය ගෞරවයෙන් භාරගන්නා අතරම එම තීන්දුව සමග ගතයුතු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.

    තනි පුද්ගලයෙකු ලෙස ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව හිමිව ඇති පාලන බලය පිළිබඳ තමා කිසිසේත් සතුටු නොවන අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් රටක එසේ සිදු නොවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය හැකි ඉක්මණින් වෙනස්වී අගමැතිවරයෙකු සහ ඇමති මණ්ඩලය සමග කටයුතු කිරීමට ඉක්මණින් අවස්ථාව සැලසෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ අගමැතිවරයෙකුගේ සහ ඇමති මණ්ඩලයක ක්‍රියාකාරිත්වය නොමැති රටක ජනාධිපතිවරයා ලෙස තමා ඉකුත් දින කිහිපයේ කටයුතු කළේ දැඩි වගකීමකින් සහ ඉවසීමකින් බවයි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට මතුව ඇති දේශපාලන අර්බුදය දේශපාලන පක්ෂ අතරේ තිබෙන ප්‍රශ්නයක් මෙන්ම තමා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ප්‍රශ්නයක් ලෙස විග්‍රහ කිරීමට ඇතැමුන් උත්සාහ දරන බවයි. එහෙත් එය ස්වදේශීය චින්තනය සහ විජාතික චින්තනය අතර ගැටුමක් බව සඳහන් කළ ජනාධිපතිතුමා විජාතික බලවේගවලට යටනොවී ස්වාධීනව සහ ස්වශක්තියෙන් නැගි සිටිය යුතුයි යන දර්ශනය ක්‍රියාත්මක කරන විට විජාතික බලවේග ඊට අභියෝගයක් ව ඇති බව ද සඳහන් කළේය.

    මෙය රටේ ජනතාව අවබෝධකරගත යුතු කරුණක් බව සඳහන් කළ ජනාධිපතිතුමා රටට ආදරය කරන සියලු ජනතාව මාතෘ භූමිය පිළිබඳ සිතමින් තීන්දු තීරණ ගනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ 2018 වසරට අදාළ ජීවනෝපාය සංවර්ධන උපකරණ ප්‍රදානය කිරීම නිමිත්තෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය රංග ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.

    රුපියල් මිලියන 294 ක් වැය කරමින් ප්‍රතිලාභීන් 4500 ක් වෙත ප්‍රතිලාභ ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය.

    උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පොළොන්නරුව නගාරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya