දෙසැම්බර් 10, 2018

tami eng youtube google twitter facebook

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය (Video)

    දෙසැම්බර් 02, 2018

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (2) සිදු කළ විශේෂ ප්‍රකාශය

    අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, හිතවතුනි, මිත්‍රවරුනි,

    කැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්‍ෂ සිටින එකම රට ලංකාවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව යමින්, ජනාධිපතිතුමා 2018 නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කල ගැසට් පත්‍රයේ නොවැම්බර් 19 හා 26 අතර නාමයෝජනා භාර ගැනීමටත්, 2019 ජනවාරි 5 වෙනිදා ඡන්දය පැවැත්වීමටත්, නව පාර්ලිමේන්තුව ජනවාරි 17 වන දා මුල් වරට රැස්වීමටත්, දින වකවානු සියල්ලම නියම කරලයි තිබුණෙ. ඒ අනුව කටයුතු සිදුවුණා නම් ඉතාම කෙටි කලකින් රට නැවතත් ස්ථාවර වෙනවා.

    2017 නොවැම්බර් මාසයේදීත් පලාත් පාලන ඡන්දය පවත්වනවට විරුද්ධව පෙත්සම්කරුවන් පිරිසක් අභියාචනාධීකරණයට යෑම නිසා පලාත් පාලන ඡන්දයත් දින නියමයක් නැතුව කල් යෑමේ අවදානමක් මතුවුණා. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නඩු නැති පලාත් පාලන ආයතන වලට හෝ ඡන්ද පවත්වන බව ප්‍රකාශ කෙරුවාම පැවති ආණ්ඩුවට අකමැත්තෙන් වුනත් ඒකට එකඟ වෙන්න සිදු වුණා. උසාවියට ගිය පෙත්සම් කාරයොත් හෙමින් සීරුවේ නඩු ඉල්ලා අස්කර ගන්තා. එතනදී දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් උසාවි ක්‍රියාදාමය අවභාවිතා කිරීමක් පැහැදිලිව පෙනෙන්න තිබුණා.

    අද වෙනකොට පලාත් 9න් පලාත් 6ක පලාත් සභා නැහැ. පැවති ආණ්ඩුව අවුරුද්දකට වැඩි කාලයක් පලාත් සභා ඡන්දය මඟහැරියා. අපි නැගෙනහිර පළාතෙන් කොටි සංවිධානය පන්නල යුද්ධය ඉවර වෙන්නත් කලින් 2008 පලාත් සභා ඡන්දය පැවැත්වුවා. වන්නියේ බිම් බෝම්බ ඉවත්කරල 2013 දී උතුරු පලාත් සභා ඡන්දෙත් පැවැත්වුවා. අද රටේ කිසිම යුද්ධයක් නැතුවත් මේ පලාත් දෙකේම පලාත් සභා නැහැ. ගිය අවුරුද්දෙ සබරගමුව, උතුරු මැද, හා නැගෙනහිර පලාත් සභා විසිරෙන්න දවස් කීපයක් තිබියදී, පලාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කඩිමුඩියේ ගෙනාපු 2017 අංක 17 දරණ පනතේ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමට අදාල කොන්දේසි සිතා මතාම ඉටු නොකර සිටීමෙන් තමයි පැවති ආණ්ඩුව දින නියමයක් නැතුව පලාත් සභා ඡන්ද කල් දමා ගත්තේ.

    මම මේ පැහැදිලි කිරීම කරන්නෙ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ හවුල දේශපාලන වේදිකාවේදී වැරදි කරුණු හුවා දක්වමින් ජනතාව නොමඟ හරිමින් සිටින නිසයි. අපේ රටේ පළමු පාර්ලිමේන්තුවේ ඉඳලම, දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණාම මහ මැතිවරණ කැඳවපු එක තමයි සිදු වුණේ. 1952 දී ඩී.එස්. සේනානායක මැතිතුමා මිය ගිය වෙලාවේ, යූ.එන්.පී ආණ්ඩුව ඇතුලේ අගමැතිකම සම්බන්ධයෙන් ලොකු බෙදීමක් ඇති වුණා. පක්‍ෂයේ දෙවනියා සර් ජෝන් තොලාවල වුණත්, එකල අග්‍රාණ්ඩුකාර සෝල්බරි ස්වාමිවරයා, අගමැති වෙන්න ආරාධනා කලේ ඩඩ්ලි සේනානායක මහතාට. ඩඩ්ලි සේනානායක මහතා කලේ අගමැති හැටියට දිවුරුම් දීලා දවස් ගණනක් ඇතුලත මහ මැතිවරණයක් කැඳවලා ජනතා වරමක් තුළින් ආණ්ඩුව තුළ ඇතිවෙලා තිබුණ බෙදීම පාලනය කර ගන්න එකයි.

    1959 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය වුණාට පස්සෙ ඩබ්ලිව්. දහනායක මහතා අගමැති වුණා. ඔහුගේ ආණ්ඩුව තුළ ගැටුම් ඇතිවුණාම එතුමත් කලේ වහාම මහ මැතිවරණයක් කැඳවන එකයි. අපේ 1948 ව්‍යවස්ථාවේ, අග්‍රාණ්ඩුකාරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලතල ගැන සඳහන් වුණේ 15 වෙනි වගන්තියේ. රාජාසන කතාව හෝ අයවැයක් පැරදුනාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වගේ සම්ප්‍රදායන් 1948 ව්‍යවස්ථාවේ ප්‍රකාශිතවම සඳහන් නොවුනත්, ඒ කාලේ අපේ ආණ්ඩුක්‍රමය සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය අනුකරණය කළ නිසා ඒ සම්ප්‍රදායන් ක්‍රියාත්මක වුණා.

    1972 අපේ පළමු ජනරජ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ගැන කියවුනේ 21 වගන්තියේ. ඊට අමතරව, රාජාසන කතාව පැරදුනාම, අයවැයක් පැරදුනාම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සම්ප්‍රදායන් ගැන ඒ ව්‍යවස්ථාවේ 99 වගන්තියේ සඳහන් වුණා. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ගැනත්, රාජසන කතාව හෝ අයවැය පැරදුණු විට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සම්ප්‍රදායන් ගැනත් සඳහන් වුණේ 70(1) වගන්තියේ. උසාවිය ඉදිරියේ ඇති නීතිමය කරුණු ගැන මතයක් මම ඉදිරිපත් කරන්නෙ නෑ. මේවා දැන් මාධ්‍යයේ, සමාජ ජාලවල, හැමතැනම සාකච්ඡා වෙන දේවල්.

    මහ මැතිවරණයක් පවත්වනවට විරුද්ධ යූ.එන්.පී ප්‍රමුඛ හවුල කියනවා 19 වෙනි සංශෝධනයෙන් 1978 ව්‍යවස්ථාවේ තිබුණු පරණ 70(1) වගන්තිය ඉවත් කරලා අලුතෙන් එකතුකරලා තියෙන 70(1) වගන්තියට අනුව, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් යනකම් විසුරවන්න බෑ කියලා. ඊට කලින් විසුරුවන්න පුලුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත වුනොත් විතරයි කියලා ඒගොල්ලො කියනවා. 1978 ව්‍යවස්ථාවේ, පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාල සියලුම ප්‍රතිපාදන සඳහන් වුණේ 19 වෙනි සංශෝධනයට පෙර තිබුණු 70(1) වගන්තියෙයි. ඒ වගන්තිය අහෝසි කරලා නම් තියෙන්නෙ, අද ආණ්ඩුවක් රාජාසන කතාව පැරදුනත්, අයවැයක් පැරදුනත්, විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න මොනම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක්වත් නෑ.

    ඒ වගේ සීමා කිරීමක් ඇති කරන එක පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම විරුද්දයි. ලෝකයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සහිත හුඟක් රටවල ඉන්නෙ නාමමාත්‍ර රාජ්‍ය නායකයොයි. ඒ වගේ රටවල පවා, සම්ප්‍රදායක් තියෙනවා රාජ්‍ය නායකයාට තම අභිමතය හා තක්සේරුව පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුලුවන් කියලා. බ්‍රිතාන්‍යයේ ඒ.වී. ඩයිසි කියන නීති විශාරදයා කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට වඩා ජනතාවගේ මතය වෙනස් කියලා හැගෙනවනම්, රජතුමාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් කියලා. 1975 දී ඔස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරයා, තම තනි අභිමතය අනුව අගමැති ගෆ් විට්ලම්ව ධූරයෙන් නෙරපලා මහ මැතිවරණයක් කැදෙවුවා.

    ඒ වගේම ඉන්දීය ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් කියලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුද නැද්ද කියන එක ඉන්දීය ජනාධිපතිවරයාගේ තක්සේරුව අනුව සිදු විය යුතු බව. ඉන්දීයාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් විසුරුවා හැරීමේදී ඒ අභිමතය මුල ඉඳලම පාවිච්චි කරලා තියෙනවා. 1970 දී පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබූ විපක්‍ෂයේ විරෝධය නොතකා ජනාධිපති වී.වී.ගිරි ඉන්දීය පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. 1979 දී සංජීව රෙඩ්ඩි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච අරාජිකත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව තම තක්සේරුව අනුව විසුරුවා හැරියා.

    එහෙම වුණේ නාමමාත්‍ර රාජ්‍ය නායකයෝ ඉන්න රටවල. නමුත් ලංකාවේ ඉන්නෙ ඍජුවම ජනතාව විසින් ඡන්දයෙන් පත් කරන විධායක ජනාධිපතිවරයෙක්. ඔහුට ජනතාව දී ඇති බලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් සහ ජනමත විචාරණයකින් මිස කිසිවෙකුටත් අවලංගු කල නොහැකි බව 19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් වෙනවා. 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු 70(1) වගන්තිය ඉවත් කරයි කියලා කිවුවට, ඇත්තටම සිදු වුණේ 70(1) යටතේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හිමි බලතල ව්‍යවස්ථාවේ වෙනත් තැනකට ගෙන යෑමයි.

    පරණ 70(1) වගන්තිය සංශෝධනය කරන අතරම, 19 වෙනි සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ 33 වගන්තියට අලුතෙන් (2)(ඇ) යන උප වගන්තිය එකතු කලා. මේ වගන්තියෙන් කියවෙන්නෙ, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියකින් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල වලට අමතරව, පාර්ලිමේන්තුව කැඳවීමටත්, වාර අවසාන කිරීමටත්, විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට බලය තිබෙන’ බවයි. මේ ආකාරයට අලුතෙන් හඳුන්වාදුන් 33(2)(ඇ) වගන්තිය, 19 සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තියට යටත් කියලත් කොහේවත් සඳහන් වෙන්නේ නෑ.

    ඒ නිසා වෙන්න ඕන 19 වෙනි සංශෝධනය ගැන 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ, 70(1) වගන්තියට සිදු කර තිබුණු වෙනස්කමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු වුණයි කියලා ප්‍රකාශ නොවුනේ. 70(1) වගන්තිය වෙනස් කලේ ජනාධිපතිවරයාට ඒ යටතේ තිබුණ බලතල අඩු කිරීමට නම්, 70(1) වගන්තිය පමණක් වෙනස් කරන එක තමයි වෙන්න ඕන. පරණ 70(1) වගන්තියේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණ බලය 33(2)(ඇ) වගන්තිය හැටියට නැවත ගෙන ආවේ ජනාධිපතිවරයාට හිමි ඒ බලය ජනමත විචාරණයක් නැතුව අහෝසි කළ නොහැකි නිසා කියලා තමයි නීති විශාරදයෝ කියන්නෙ.

    19 වෙනි සංශෝධනයෙන් ඔය විදියටම තවත් වගන්තියක් එක තැනකින් තව තැනකට ගෙනිහිල්ලා තියෙනවා. 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියපු පරණ 42 වගන්තිය අහෝසි කරලා ඒකෙ වචන මොනවත් වෙනස් නොකර 19 වෙනි සංශෝධනයෙන් 33ඒ වගන්තිය හැටියට ව්‍යවස්ථාවට නැවත ඇතුල් කරලා තියෙනවා. එහෙම කලේ ඇයි කියලා ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕන. නමුත් ඒකෙ ප්‍රතිඵලය වන්නේ 19 වෙනි සංශෝධනයට පෙරත්, පසුත්, ජනාධිපතිවරයා එකම විදියට පාර්ලිමේන්තුවට වගකිව යුතු වීමයි. පරණ 70(1) වගන්තිය යටතේ තිබුණු බලයක් 33(2)(ඇ) හැටියට නැවත ගෙන ඒමෙනුත් වෙන්නෙ ඒකමයි.

    19 වෙනි සංශෝධනයෙන් පස්සෙ, අපේ ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකිලා තියෙන්නෙ මේ 33(2)(ඇ) වගන්තියෙන්. ඒ වගන්තිය නොසලකා හැර අපි 19 වෙනි සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තිය පමණක් පිළිගත්තොත්, සිද්ධ වෙන්නෙ රාජාසන කතාව පැරදුනත්, අයවැය පැරදුනත්, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, මොනම හේතුවකටවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ යන නිගමනයට එන්න සිදුවීමයි. එහෙම පාර්ලිමේන්තුවක්, පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැර වූවක්. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම තියෙන රටවල නාමමාත්‍ර රාජ්‍ය නායකයන්ටත්, අවශ්‍යතාවයක් පැන නැගුන විට තම අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණ කැඳවන්න පුලුවන්නම්, ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන, ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිට රටේ හා පාර්ලිමේන්තුවේ මොන තත්වයක් ඇති වුණත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියන එක කොයි තරම් තර්කානුකූලද?

    19 වෙනි සංශෝධනයෙන්ම 33(2)(ඇ) වැනි අලුත් වගන්තියක් ව්‍යවස්ථාවට හඳුන්වලා දීලා තිබෙද්දිත්, ජනාධිපතිට ඒ වගේ බලයක් නෑ කියන්න පුලුවන්ද? අපේ රණවිරුවන් පිටරට උසාවි වලට භාර දෙන්න නීති හඳපු 2018 අංක 05 දරණ පනත සම්මත වුනේ ඡන්ද 56 න්. නමුත් පාරිලිමේන්තුව විසුරුවලා ජනතා පරමාධිපත්‍යට ඉඩ දෙන්න පාර්ලිමේන්තුවේ ඡන්ද 150ක් ඕන කියලා තර්ක කරන්න පුලුවන්ද? මට ළඟදි කෙනෙක් ගෙනල්ලා දුන්න “ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටුට් ෆෝ ඩෙමොක්රසි ඇන්ඩ් ඉලෙක්ටෝරල් ඇසිස්ටන්ස්” කියලා රටවල් ගණනාවක් එකතුවෙලා හඳපු අන්තර් – රාජ්‍ය ඒ කියන්නේ ඉන්ටර් – ගවර්න්මෙන්ටල් සංවිධානයකින් හදපු වාර්ථාවක්. ඒ සංවිධානයේ ජර්මනිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය වගේම ඉන්දියාව හා ජපානය වගේ රටවලුත් සාමාජිකත්වය දරණවා.

    මේ වාර්ථාවට අනුව, ව්‍යවස්ථාදායකය විසුරුවාහරින්න නම් තුනෙන් දෙකේ බහුතරයක් අවශ්‍ය රටවල් දෙකයි තියෙන්නෙ – ඒ කොසෝවොයි, ලිතුවේනියාවයි. නමුත් ඒ රටවලත්, ආණ්ඩුවට විරුද්දව විශ්වාස භංග යෝජනාවක් සම්මත වීම, රාජසන කතාව පරාජය වීම වගේ අවස්ථාවල ව්‍යවස්ථාදායකය විසුරුවන්න රාජ්‍ය නායකයාට බලය තියෙනවා. නිල කාලය ඉවර වෙනකන් මොනම හේතුවකටවත් ව්‍යවස්ථාදායකය විසුරුවන්න බැරි ඒකෙ සඳහන් වෙන එකම රට නෝර්වේ රාජ්‍යයි. නමුත් නෝර්වේ වල තියෙන තත්වය අපේ රටට වඩා ගොඩක් වෙනස්. ඒ රටේ ඉන්නෙ අපේ බස්නාහිර පලාතටත් වඩා අඩු ජනගහණයක්. ඒ වගේම ඒ රට ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්.

    නෝර්වේජියානු පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් පැරදුනත්, අලුත් ආණ්ඩුවක් පත්වෙන තුරු රජතුමා පරණ ආණ්ඩුවට යන්න දෙන්නේ නෑ. ඒ වගේම රජතුමා ප්‍රමුඛ රාජ්‍ය සභාව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒක ගැන විවාද කලත්, කවදාවත් පරාජය කරන සම්ප්‍රදායක් එහේ නෑ. ඉතින් නෝර්වේ වල වැඩිහරියක් තිබිලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති සුළුතර ආණ්ඩු. දැන් තියෙන්නෙත් සුළුතර ආණ්ඩුවක්. නෝර්වේ වල කරන දේවල් ලංකාවේ කරන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන.

    ප්‍රංශයේ ව්‍යවස්ථාව පරිනාමය වෙච්ච හැටිත් මෙතනට අදාලයි. 1940 ට කලින් ප්‍රංශයේ තිබ්බ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න බැරි තත්වයක් ඇති කරලා තිබුණා. මේ නිසා ඒ කාලේ ප්‍රංශයේ දිගින් දිගටම අස්ථාවර ආණ්ඩු ඇතිවුනා. 1940 දී හිටලර් ප්‍රංශය ආක්‍රමණය කළා. ඒකෙන් ගොඩ ඇවිල්ල ප්‍රංශය 1946 අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන කොට පාර්ලිමේන්තුව කලින් විසුරවන්න බැහැයි කියන නීතිය වෙනස් කරලා ආණ්ඩුවකට විරුද්ධව මාස 18 ක් ඇතුලත විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වුණොත් පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් පවත්වන්න ප්‍රතිපාදන සැලසුවා.

    නමුත් ස්ථාවර ආණ්ඩු ඇතිකරන්න ඒකත් ප්‍රමාණවත් නොවුන නිසා 1958 දී සම්මත වූ ප්‍රංශයේ වත්මන් ව්‍යවස්ථාවෙන් ඒ රටේ පාර්ලිමේන්තුව ඕනම වෙලාවක කලින් විසුරුවලා ඡන්ද පවත්වන්න සම්පූර්ණ අභිමතානුසාරී බලය ප්‍රංශ ජනාධිපතිවරයාට දීල තියෙනවා. අපි ඒ අත්දැකීම් වලින් ඉගෙන ගන්න ඕන. පාර්ලිමේන්තුවක් විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමෙන් ඒ විසුරුවා හරින පුද්ගලයාටත් බලපෑමක් ඇති වෙන නිසා කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තුවක් විසුරුවා හරින්නේ නෑ. බරපතල තත්වයක් යටතේ විතරයි ඒ වගේ තීන්දුවක් කවුරු වුණත් ගන්නෙ. අස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහ මැතිවරණය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවටයි. ඒ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැගෙන්නෙ සර්වජන ඡන්ද අයිතිය තුළිනුයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ඔබ, මේ ගැන සිතා බලන්න.

    ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි
    සුබ අනාගතයක්!

    Vedip LINK- 

    https://www.youtube.com/watch?v=JvejAe5rjVg&feature=youtu.be

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu