අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු - ශ්‍රී ලංකා අගමැතිවරුන් අතර සාකච්ඡාවක්

    අප්‍රේල් 27, 2017

    ඉන්දීය සාගරයේ  ආර්ථික, වෙළඳ, සමාජයීය හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලාංකේය අපේක්‍ෂාවන් සදහා පූර්ණ සහය ලබා දෙමින්, බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යනු ලබන වැඩපිළිවෙළ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බව ඉන්දීය – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන්හිදී අවධාරණය කෙරිණි.

    ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (26) නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී පැවති සාකච්ඡාවන්හි දී අග්‍රාමාත්‍යවරු දෙපළ අවධාරණය කළේ, කලාපීය සාමය සහ ආරක්‍ෂාව සහ ඉන්දීය සාගර ආචාර ධර්ම හා නිදහස් නාවුක ගමනාගමනය සහතික කරලීම උදෙසා නිරතුරුවම කැපවෙන බවය.

    2017 ජනවාරියේ පැවති රයිසිනා සංවාදයේ දී ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෂුන්සුකෙ තකෙඉ මහතා අවධාරණය කළාක් මෙන්, ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපීය රටවල් වෙනුවෙන් ජපානය සහ ඉන්දියාව එක්ව සහය ලබා දීමේ වැඩ පිළිවෙල අනුව, ශ්‍රී ලංකාවට සුවිශේෂී සහයයක් ලබා දීමේ වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද මේ සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ජපන් සංචාරයේ දී ද, මේ සම්බන්ධව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතා සමග සාකච්ඡා කළ අතර, ජපාන අග්‍රාමාත්‍යවරයා ද ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරලීම ඔස්සේ ඉන්දීය සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීම සඳහා අවශ්‍ය සහය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ක්‍රියා කරන බව පැවසීය.

    ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉහළ හා සමීප තලයකින් පවත්වාගෙන යෑම උදෙසා වික්‍රමසිංහ මහතා සිදු කරන මෙහෙවර අගය කළ නරේන්ද්‍ර මෝදි මහතා, ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා එක්වීමේ උනන්දුවෙන් පසුවන බව ද ප්‍රකාශ කළේය.

    කළමණාකරණය, තොරතුරු තාක්‍ෂණය හා ඉංජිනේරු යන විෂයයන් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතන හා විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා සහය ලබා දෙන ලෙස වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

    ඉන්දීය ආධාර යටතේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන්ගේ ප්‍රගතිය පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.
    මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාවේ ආර්ථිකය පණ ගැන්වෙමින් ඉදිරියට යාම නිසා ආසියානු කලාපය වේගවත් වර්ධනයක් හිමි කර ගනිමින් සිටින බවත්, එය ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථික ස්ථාවරත්වයට උත්ප්‍රේරකයක් බවත්, වික්‍රමසිංහ මහතා පැවසීය.

    යුද්ධයෙන් පෑරුණු හදවත් සුවපත් කරලමින්, ජාතික සංහිදියාව සහ තිරසර සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන පිළිවෙත අගය කළ මෝදි මහතා, ඒ ගමන් මග තව තවත් වේගවත් සහ ක්‍රමවත් කරලීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

    හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සහයෝගීතා ක්‍රියාකාරකම් ඔස්සේ, දැවැන්ත ආර්ථික, ආයෝජන සහ සංවර්ධන සහායෝගීතාවක්, වර්ධනාත්මක ලෙස ලබා ගනිමින්, දෙරටේම ජනතාවට අන්‍යෝන්‍ය හා සමබර ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි.


    ඉන්දියාව වෙනුවෙන් විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ද අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

    ද්‍රව ස්වාභාවික වායු නිෂ්පාදනය, සුර්ය බලාගාර ස්ථාපිත කිරීම, ත්‍රිකුණාමල නගරය - වරාය හා ආර්ථික කලාප සංවර්ධනය, මාර්ග සංවර්ධනය, දුම්රිය සේවා නවීකරණය, බහාලූම් පර්යන්ත, කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන, ජල කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඉන්දීය සහයෝගීතාවය ලබා දීම සම්බන්ධව මේ ගිවිසුමෙන් මූලික අවධානය යොමු කොට ඇත.

    මෙම සමහර ක්ෂේත්‍රයන් හි සංවර්ධන කාර්යයන් සඳහා ජපානය – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට එක්ව ක්‍රියා කිරීම ද විශේෂයකි.


    ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ සියළු පාර්ශවයන් සමග සිදු කෙරෙන සාකච්ඡාවලින් පසු ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අවසන් තීරණයකට එළැඹිම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා විසින් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමූ අතර, දෙරටට සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ඒ අවස්ථාවේදී ද සාකච්ඡා කෙරිණි.

    ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya