මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දවුල්දෙන ඤානිස්සර මහානායක හිමි දුර්ලභ සුපේෂල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයෙක් - අගමැති

    අප්‍රේල් 04, 2017

    අපවත් වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, පරම පූජනීය දවුල්දෙන ඤානිස්සර මහානායක ස්වාමින් වහන්සේ දුර්ලභ සුපේෂල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයෙක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    අගමැතිවරයාගේ සම්පූර්ණ ශෝක පණිවුඩය පහත සඳහන් වේ.

    සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා සමස්ත ජීවිතයම කැප කළ, නිහතමානී ගුණයෙන් අනූන, ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා අතිශය දුර්ලභ ය. උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, පරම පූජනීය දවුල්දෙන ඤානිස්සර මහානායක ස්වාමින් වහන්සේ එබඳු දුර්ලභ සුපේෂල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයෙකි. සියක් වසක් ඉක්මවූ ජීවිත ගමන තුළ ලක් දෙරණටත්, සම්බුදු සසුනටත්, සමස්ත ලෝකයටත් මහා නායක ස්වාමින් වහන්සේ ඉටුකළ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර උත්තරීතර ය.

    1915 දෙසැම්බර් මස 30 වැනි දින ඌව පළාතේ, ඌව පරණගම දවුල්දෙන ග්‍රාමයේ උපත ලද මහ නාහිමිපාණෝ ළමා වියේදී ම පැවිදි බිමට පිවිස, දෙස් විදෙස් පිරිවෙන්, විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය හදාරා, ධර්ම ශාස්ත්‍ර ගවේෂණයෙහි අගතැන්ව ආචාර්ය, මහා මහෝපාධ්‍ය, අග්ගමහා පණ්ඩිත ගරු බුහුමනින් විශිෂ්ඨත්වයට පත්වූහ.  

    දෙස් විදෙස් සුපතළ මහා පඩිවරුවනක්, විචිත්‍ර ධර්ම කථිකයෙක්, ගිහි පැවිදි උගත් බුද්ධිමත් පිරිසක් දැයට තිළිණ කළ විශිෂ්ඨ ආචාර්යවරයෙක් ලෙස මව්බිමට පමණක් නොව තායිලන්තය, මියන්මාරය ඇතුළු අන් දේශයන් තුළ ද මහා නායක ස්වාමින් වහන්සේ අද්විතීය මෙහෙවරක් ඉටුකළහ. විහාරස්ථාන රැසකම අධිපතිධූර දරමින් ශාසනයටත්, සමාජයටත්, සමස්ත දේශයටත් මහ නාහිමිපාණන් වහන්සේ ලබා දුන් ධර්මාලෝකය මේ මොහොතේ මහත් කෘතවේදීත්වයෙන් සිහිපත් කළ යුතු ය.

    ශාසනික, අධ්‍යාපනික, සමාජ සේවය මෙන්ම ග්‍රන්ථ, ලිපිලේඛන රැසක් සම්පාදනය කරමින් අමිල ශාස්ත්‍රීය මෙහෙවරක නියැලූණු මහනායක හිමිපාණෝ සංස්කෘති චක්‍රවර්ති, ග්‍රන්ථ විශාරද, ද්විභාෂා විශාරද, සංස්කෘත සාහිත්‍ය සරස්වතී, ෂඩ්භාෂා පරමේෂ්වර ආදී වූ ගෞරව සම්මාන රැසකින් ද පිදුම් ලැබූහ.

    සියක් වසක් සපිරූ දිවි ගමනට පූර්ණ අරුතක් එක් කළ, සසුනඹරේ බැබළෙන මහා පහන් තරුවක් වන පරම පූජනීය දවුල්දෙන ඤානිස්සර මහ නායක ස්වාමින් වහන්සේට පිරූ පාරමිතා බෙලෙන් අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya