අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා හෙඳ විද්‍යාල පුළුල් කරනවා- ජනපති

    අප්‍රේල් 05, 2017

    අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගැටලුවක් බවට පත්ව ඇති හෙද කාර්ය මණ්ඩලවල හිඟය පියවීම සඳහා දිවයින පුරා හෙද විද්‍යාල පුළුල් කරමින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමටත්, එම හෙද විද්‍යාල සඳහා වැඩි පිරිසක් බඳවා ගැනීමටත් ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(04) මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේ පැවති රාජ්‍ය සේවා හෙද නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික සමුළුව අමතමිනි.

    නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේදී මතුව ඇති ප‍්‍රබල ගැටලුවක් බවට වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හිඟය පත්ව ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉහළ යන භෞතික සම්පත් සංවර්ධනය සමග මානව සම්පත ද සංවර්ධනය විය යුතු බව කියා සිටියේය.

    නිදහස් සෞඛ්‍ය සේවාවේ ශක්තිමත් ප‍්‍රවාහයක් වූ හෙද සේවයට එදා පටන් මානව සමාජය තුළ ඇත්තේ මහත් ගෞරවයක් සහ පිළිගැනීමක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා දිනෙන් දින දියුණුවන නවීන තාක්ෂණය සමග ලබන දැනුම සහ අත්දැකීම් තුළින් මානව සමාජයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කිරීමට ක්ෂේත‍්‍රයේ සියලු දෙනා කටයුතු කරනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

    විශිෂ්ට සේවයක නිරත හෙද නිලධාරින් වෙනුවෙන් සම්මාන ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම යන මහත්වරුන් ද රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා ඇතුළු සංගමයේ නිලධාරින් සහ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සම්මේලනය අමතා ජනාධිපතිතුමා සිදු කළ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    "රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව පැවැත්වෙන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ප‍්‍රබලතම ශක්තිමත් ප‍්‍රවාහයක් වගේම ගුණාත්මක වඩාත් මානුෂීයවාදී මෙහෙවරක් සිදුකරන සේවයක යෙදී සිටින ඔබට මුළු මානව සමාජය තුළම ඇත්තේ ඉමහත් ගෞරවයක් සහ පිළිගැනීමක්ය. ඒ ගෞරවය සහ පිළිගැනීම හෙද සේවය වෙනුවෙන් අද ඊයේ ආරම්භ නොවුන බව ඔබ දන්නවා.


    මිනිසාගේ ආරම්භය පරිණාමය ඒ සියල්ල සමග වෛද්‍ය සේවය සෞඛ්‍ය සේවය වෛද්‍යවරයා හා හෙද සේවය මේ සියල්ල ගත්විට ඉතා පැරණි සේවාවන් මෙන්ම තවත් පැත්තකින් වෘත්තීමය සේවාවන් බව ඔබ දන්නවා. ලෝකය වේගයෙන් වෙනස් වන විට අධි තාක්ෂණය සමග සෞඛ්‍ය සේවාවේ නව සොයා ගැනීම්, පර්යේෂණ තොරතුරු සමග දිනෙන් දින වෙනස් වන සෞඛ්‍ය සේවාවට ඔබේ දැනුම බුද්ධිය සහ අත්දැකීම් සමග ඔබ අපේ රටේ ජනතාවට ලබා දෙන්නේ ඉතාමත් විශිෂ්ට සේවයක්.

    සෞඛ්‍ය සේවාවේ තිබෙන බොහෝ ප‍්‍රශ්න සහ ගැටලු වලදි අපි රටක් ලෙස මුහුණ දෙන ප‍්‍රශ්නයක් වන්නේ්, වෛද්‍යවරුන්ගේ හිඟය, හෙද සේවයේ හිඟය තවත් පැත්තකින් පරිපූරක වෛද්‍ය සේවාවේ හිඟය, අපේ නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක සහ සාර්ථක කිරීම ප‍්‍රබල ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙන බව ඔබ දන්නවා. පසුගිය සතියේ හදිසියේම මම කාටවත් නොදන්වා ත‍්‍රිකුණාමල කින්නියා රෝහලට ගියා. පසුගිය දිනවල ඇති වූ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයත් සමග කින්නියා ප‍්‍රදේශයේ ඇති වූ තත්ත්වයන් නිසා මම හදිසියේ ඒ ප‍්‍රදේශයට ගියේ. එම අවස්ථාවේදී වෛද්‍ය හෙදි සියලු රෝහල් කාර්යමණ්ඩල මට හුරුපුරුදු යෝජනා සහ ඉල්ලීම් ඉදිරිපත් කළා.


    සෞඛ්‍ය ඇමති කාලේත් මට ඒ ඉල්ලීම් හොඳට පුරුදුයි. රෝහලකට ගියාම වැඩියෙන්ම කියන්නේ හෙද නිලධාරීන් මදි කියලයි. කින්නියා රෝහලෙත් වෛද්‍යවරු ගැන කතාකළා. ඒ වගේම අවශ්‍ය භෞතික සම්පත් ගැන කතාකළා. ඒ වගේම හෙද නිලධාරීන්ගේ හිඟය ගැන දැඩි ලෙස කතාකළා. මම සියල්ලටම උත්තර දුන්නා. එහෙත් හෙද නිලධාරීන් ඉල්ලූ දෙයට මම පිළිතුරු දුන්නේ නැහැ. මම කිව්වා ඒ ගැන මම හොඳට දන්න නිසා ඒකට දැන්ම පිළිතුරක් දෙන්න බැහැ කියලා. අපේ රටේ වාර්ෂිකව විශ‍්‍රාම යන සංඛ්‍යාවත් වාර්ෂිකව විදේශගත වන සංඛ්‍යාවත් ගත්විට හෙද සේවයේ තිබෙන අඩුපාඩුව අද බරපතළ ප‍්‍රශ්නයක්. අපේ ගොඩනැගිලි වැඩිවෙනවා, නව යන්ත‍්‍රසූත‍්‍ර වැඩිවෙනවා. ඒ හා සමානව මානව සම්පත් සංවර්ධනයේ දැඩි හිඟයක් පවතින්නේ.

    ඒ නිසා අපි අපේ තිබෙන හෙද විද්‍යාල තවත් පුළුල් කිරීම, වැඩි පිරිස් බඳවා ගැනීම, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම අත්‍යවශ්‍ය දෙයක් විදියටයි මම සලකන්නේ. ඒ නිසා අපිට ඔබේ වාර්ෂික සමුළුවේදී බොහෝ ප‍්‍රශ්න, කතා කළ යුතු දේවල් තිබෙනවා. නමුත් මම ඒවා කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාලය පිළිබඳ ප‍්‍රශ්නය නිසා. පසුගිය වසර කිහිපයේදීම ඔබේ වාර්ෂික සමුළුවට මා එක්වී තිබෙනවා. ඔබ සෑම කෙනෙක්ම මේ රටේ ජනතාව වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට ලබාදෙන විශිෂ්ට මෙහෙවර හා සේවාවන් මා ඉතාමත් අගය කරනවා. වෘත්තීය සමිති විදියට තිබෙන ගැටලු වලටත් අපි රජයක් විදියට දියහැකි විසඳුම්, පිළිතුරු නිරවුල් කිරීම් සැමවිටම අපි ඉටුකරනවා.

     ඒ නිසා අද දවසේ සියලු දෙනාටම මම සුබපතනවා. සමන් රත්නප‍්‍රිය මහතා ඇතුළු නිලධාරීන්ටත් මා සුබ පතනවා වෘත්තීය සේවාවේ ගුණාත්මක භාවය වැඩිකරමින් නිදහස් සෞඛ්‍ය සේවාව ගුණාත්මක කරන්න කරන කැපවීම මා අගය කරනවා. ඒ වගේම සියලු නිලධාරීන්ට මා සුබ පතනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya