එමෙන්ම ගාල්ලේ නාවික කඳවුර හම්බන්තොටට ගෙනැවිත් ගාල්ලට වෙරළ ආරක්‍ෂක කඳවුර ගේන්න අප තීරණය කර තිබෙන බවත් මෙහි එන සැමට ලංකාවේ නීතිය බලපාන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
මෙම සියලු ගිවිසුම් ඇති කර ගන්නේ පාර්ලිමේන්තුව දැනුවත් කොට විනිවිද භාවයක් ඇති වන ආකාරයට බව ද අගැමැතිවරයා සඳහන් කළේය.
ඊයේ (07) පැවති රුහුණු සංවර්ධන වැඩසටහන විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.
2015 ජනවාරි 08 වැනිදා අප සියලු දෙනා එකතු වී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් කර ගත්තේ මෙරට ජනතාවට හොඳ ජීවිතයක් ලබාදීමට සහ තරුණ තරුණියන් සඳහා රැකියා ලබාදීමටයි. ප්‍රධාන පක්‍ෂ දෙක එක්වී අගෝස්තු මාසයේදී ජාතික ආණ්ඩුවක් හැඳුවේ ඒ අරමුණ ඉටුකර ගැනීමටයි. අප දේශපාලනයේදී කඹ ඇද්දත් රට දියුණු කිරීම සඳහා එකතු වී සිටිනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වී තුන්වැනි තිරසර වසර ඇරැඹෙන විට අප යෝධ සංවර්ධන සංග්‍රාමය හම්බන්තොටින් අරwනවා. 1977 වසරේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කැබිනට් මණ්ඩලයේ සිටියදී අපි මෙවැනිම යෝධ සංවර්ධන වැඩසටහනක් ආරම්භ කළා. එදා ඒ සංවර්ධනය ඇරැඹූයේ මහවැලියෙන්. අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යුගයේදී ඊටත් වඩා සංවර්ධනයක් හම්බන්තොටින් ආරම්භ කරනවා.
හම්බන්තොට වැටෙන්න ගිය වරායෙන් අපි ඔක්කොම නැගිටිනවා. හම්බන්තොට වරායක් ඉදිකළ යුතු යැයි අපේ පක්‍ෂ කතා කර තිබුණා. නමුත් වරාය ඉදිකළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. එතුමා චීනයේ එක්සින් බැංකුවෙන් ණය ගෙන අපේ වරාය අධිකාරියටත් අනෙක් සමාගම්වලටත් කියා මේ වරාය ඉදි කළා. මේ ප්‍රදේශයට ආයෝජකයන් පැමිණ කර්මාන්තශාලා බිහිවේවි යැයි අප කල්පනා කළා. නමුත් එය සිදු වූයේ නැහැ.
2015 දී අපි රජය භාරගත් විට ප්‍රශ්න ගණනාවකට අපට මුහුණ දීමට සිදුවුණා. එක අතකින් මේ ප්‍රදේශයට ආයෝජන සහ කර්මාන්ත ලැබුණේ නැහැ. ඒ නිසා මේ වරායට නැව් ආවේ නැහැ. ආනයනය කරන්න වගේ අපනයනය කරන්නත් නැව් භාණ්ඩ තිබුණේ නැහැ.
2014 වසරේදී රුපියල් මිලියන 983 ක අලාභයක් විදින්නට සිදු වුණා. 2015 වසරේදී එම අලාභය රුපියල් මිලියන 449 ක් වුණා. 2017 වන විට අපට ණය ගෙවන්න සිදු වුණා. එසේ නම් අපට අලාභය පමණක් නොව ණය වාරිකය ගෙවීමටත් සිදු වෙනවා. මේ නිසා අපට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා.
2017 වනවිට එක් අතකින් අලාභ ලබන වරාය වැටෙනවා. අනෙක් අතින් අපේ ආර්ථිකය කඩා වැටෙනවා. දරුවා මෙන්ම මවත් මැරෙන්නට නියම වී සිටියා. ඒ අවස්ථාවේදී ගත යුතු පියවර කුමක්දැයි අප සාකච්ඡා කාළා.
මේ ණය අවලංගු කළ හැකිදැයි අප චීන ආණ්ඩුවෙන් සොයා බැලූවා. නමුත් ගත් ණය කොන්දේසි අනුව එය කරන්නට හැකි වුණේ නැහැ. අපට ණය ගෙවන්න බැරිවුණොත් එහි විපාක විදිනට සිදු වෙනවා.
මේ ගැන සාකච්ඡා කිරීමට මා චීනයට ගියා. මා සමග නිමල් සිරිපාල, සරත් අමුණුගම, මලික් සමරවික්‍රම, සජිත් ප්‍රේමදාස යන ඇමතිවරුන්ද ගියා. චීන ජනපති-අගමැති මුණ ගැසීමට පෙර නිලධාරීන් සහ ඇමැතිවරුන් සමග සාකච්ඡා කළා. අපට ණය අවලංගු කරන්නට බැරිනම් කරන්නේ කුමක්දැයි කතා වුණා. මේ ප්‍රශ්න පිළිබඳව ඔවුන්ගේ විශේෂ අවධානයක් ඇති කිරීමට අපට හැකියාව ලැබුණා. නැව් නැති වරාය ඉදිරියට ගෙනයාමට නම් අපට අලූතින් සිතන්නට සිදු වෙනවා.
මේ ප්‍රදේශය මෙන්ම වරාය දියුණු කරන්න නම් කර්මාන්ත ආර්ථිකයක් බිහි කළ යුතුයි. එයින් අපට නැව්, භාණ්ඩ ලබා ගත හැකියි. කර්මාන්ත ශාලා 2000 -2500 ක් පමණ අවශ්‍යයි. ඒ සඳහා ලංකාවේ අපට මුදල් නැහැ. වෙනත් විදේශිකයන් හම්බන්තොටට එන්නෙත් නැහැ. අප ෂෙං චෙං ක්‍රමය ක්‍රියාත්මක කරනවාද කියා කල්පනා කළා.
ෂෙං චෙං යනු දකුණු චීනයේ හොංකොං ආශ්‍රිතව තිබූ ඉතා ග්‍රාමීය ප්‍රදේශයක්. 1979 වසරේදී මමත් ප්‍රේමදාස ජනාධිපතිතුමාත් මේ ප්‍රදේශය හරහා ගියා. එහි තිබුණේ කුඹුරු සහ ධීවර ගම්මානයක් පමණයි. එහි 30,000 ක ජනතාවක් සිටියා.
මෙහි විශේෂ වෙළෙඳ කලාපයක් ඉදිකළ යුතු බව ඩෙන් ෂෝ පිග්න් මැතිතුමා තීරණය කළා. එකම රටක ආර්ථික ක්‍රම දෙකක් ඇති කරන ක්‍රමය පිළිබඳව මෙරට උපාලි විජයවර්ධන මහතා හමුවී කරුණු ගැනීමට එතුමා චීන කණ්ඩායමක් ලංකාවට එව්වා.
අපි කටුනායක ආයෝජන කලාපය පටන් ගත්තේ අක්කර 300 කින්, ඩෙන් ෂෝ පිග්න් මැතිතුමා වර්ග කිලෝ මීටර් 2000 කින් ආයෝජන කලාපය පටන් ගත්තා. ඕනෑම විදේශිකයකුට පැමිණ ආයෝජන කරන්නට අවස්ථාව දුන්නා. වසර 10 වනවිට එහි විශාල නගරයක් නිර්මාණය වී තිබුණා. එම විශාල ආයෝජන කලාපයේ මුලින්ම වරාය සහ ගුවන් තොටුපොළ හැදුවා. අද එය ලෝකයේ විශාලතම කර්මාන්ත නගරයක් බවට පත්වී තිබෙනවා. ලෝකයේ තුන්වැනි තැන ගත් වරායක් එහි නිර්මාණය වී තිබෙනවා.
මේ ධීවර ගම්මානයේ නැව් තිබුණේ නැහැ. වරාය ඉදිකළ පසුව සමාගම් 39 ක් පැමිණ නැව් මාර්ග 131 ක් ඇති කිරීමට තීරණය කළා.
මෙවැනි වැඩසටහන් ශ්‍රී ලංකාවෙත් කළ හැකි බව චීන ජනාධිපතිතුමා අපට පැවැසුවා. ශ්‍රී ලංකාව සහ චීනය එක්වුවහොත් එය කළ හැකි බවද ඔහු පැවැසුවා. වරාය වසර 15 ක් 20 අලාභ ලැබිය හැකි බැවින් හම්බන්තොට වෙනුවෙන් අලූත් සමාගමක් ඇති කළ විට අපත් කොටස් මිලදී ගන්නම් යැයි චීන ජනාධිපතිවරයා අප සමග පැවැසුවා. ඔබ අපට තිබෙන ණයට සමාන කොටසක් මිලදී ගන්නම් යැයි ඔහු පැවසුවා. අපේ ආර්ථික කමිටුව රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කළා.
මේ ප්‍රදේශ දියුණු කරන්න නම් තෙල් පිරිපහදු කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය මේ ප්‍රදේශයේ තිබෙනවා දැයි චීනය අපෙන් ඇසුවා. නගර, කම්හල්, තෙල් පිරිපහදු සඳහා අක්කර 15,000 ක් පමණ අවශ්‍ය බව ඔවුන් කිව්වා.
අපි අක්කර 15,000 ක් චීනයට දෙන්නේ නැහැ. ජපානයට දෙන්නේ නැහැ. ආයෝජකයන් එන විට අවශ්‍ය පරිදි ආයෝජකයන්ට දෙනවා. ආයෝජන කලාපවල ඉඩම් ප්‍රමාණය විශාල වන තරමට ඒ සඳහා වැයවන යටිතල පහසුකම් වියදම අඩුයි. මහවැලි ව්‍යාපාරය කළ අයුරින් අවශ්‍ය වේලාවට ඉඩම් මුදා හැරීම අපේ අරමුණයි.
හැමදාම බදු සහන දිය නොහැකි බව මා චීනයට පැවැසුවා. ටික කලකින් පසු අප බදු ගෙවන්නම් නමුත් දිගු කාලීන වැඩසටහනක් අනුව මේ ව්‍යාපෘතිය කරන්නට සිදුවන බව චීනය පැවැසුවා. මුලින් චීන කම්හල් මෙහි ඇරුඹූ විට අනෙක් රටවල් ද මේ ප්‍රදේශයේ ආයෝජනයට පෙළඹෙන බව චීනය අප සමග පැවැසුවා. ඒ අනුව එකඟ වී අප වැඩකටයුතු පටන් ගත්තා.
ආයෝජන සඳහා සමාගමක් නම් කරන ලෙස අප චීන රජයට දැනුම් දුන්නා. චයිනා හාබර් සහ චයිනා මර්චන්ට් සමාගම් දෙක ඔවුන් විසින් නම් කළා.
2014 වසරේ සැප්තැම්බර් 16 වැනිදා චීන ජනාධිපති සහ එවකට මෙරට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගිවිසුමක් අත්සන් කළා. හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ දෙවැනි අදියර සඳහා එය අත්සන් කෙරුණා. මෙය ජාත්‍යන්තර වරායක් ලෙස දියුණු කිරීමටත් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් දැනට ඇති කළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් ඒ ගිවිසුමෙන් කියැවුණා. මේ කාර්ය පටන් ගත්තේ මෛත්‍රීපාල සිරිසේන යුගයේදී නොවේ. කර්මාන්ත කරණය අවශ්‍යයි යන වැඩසටහන ඇරැඹූයේ 2014 වසරේ මහින්ද රාජපක්‍ෂ යුගයේදීයි. දෙරටේ ජනාධිපතිවරුන් ඒ සඳහා ගිවිසුමකට එළඹුණා.
මම බැලූවේ චීන අය දුන් වාර්තායි. චීන අය බැලූවේ මහින්ද රාජපක්‍ෂ දුන් අනුමැති අනුවයි.
මේ වසරේදී බිලියන 1.4 ක එක්සින් බැංකුවේ ණය ගෙවන්නේ කෙසේද යන්න අපට විශාල ප්‍රශ්නයක් අපට තිබුණා. අපට මුදල් නැහැ. එසේ වුවහොත් වැට් බදු වැඩි කිරීමට වන බව මුදල් ඇමැතිතුමා පැවැසුවා. වරාය විකිණීමට හැකියාවකුත් නැහැ. වැඩිපුර අපට මුදල් ලැබෙන්නේ චයිනා මර්චන් සමාගමෙන්. අවසානයේ 80% ක් ලබාදීමට අප තීරණය කළා. 80% ක් යනු බිලියන 1.1 ක ණය අඩු වෙනවා. එවිට අපට තිබෙන බර අඩු වෙනවා. සියයට 55 ක් දී 45% ක් තියාගන්න තිබුණා. එවිට ජනතාව මත තවත් බදු බර පටවන්න සිදු වෙනවා. 100% ම දුන්නොත් අපට සම්පූර්ණ ණය ගෙවන්න හැකි බව තවත් සමහරු කිව්වා.
අපටත් පාලනයක් අවශ්‍යය. අපට ඇත්තේ 20% ක කොටස් වුවත් විශේෂ පරිපාලන අයිතියක් අප තියාගන්නවා. එමෙන්ම ගාල්ලේ නාවික කඳවුර හම්බන්තොටට ගෙනැවිත් ගාල්ලට වෙරළ ආරක්‍ෂක කඳවුර ගේන්න අප තීරණය කළා.
මෙහි එන සැමට බලපාන්නේ ලංකාවේ නීතියයි. චයිනා මර්චන් සමාගමෙන් ආවත්, නැවකින් බැස්සත් ලංකාවේ නීතිය බලපානවා. ඒ අනුව එකඟ වී අප ගිවිසුමක් අත්සන් කොට තවත් ගිවිසුම් දෙකක් ගැන සාකච්ඡා කරනවා. මෙම සියලූ ගිවිසුම් ඇති කර ගන්නේ පාර්ලිමේන්තුව දැනුවත් කොට විනිවිද බවක් ඇති ආකාරයටයි.
මේ සියලුදේ කරන අතර අප අතීතය ගැනත් සිතා බැලිය යුතුයි. හම්බන්තොට අපේ රටට පමණක් දියුණු කළ නොහැකි බව දැනගත්තේ එදා මහින්ද රාජපක්‍ෂ මහතා චීන ජනාධිපතිවරයා සමග අත්සන් කළ ගිවිසුම නිසයි.
චයිනා මර්චන්ට් යනු 1872 වසරේ ඇරැඹූ පැරණි සමාගමක්. එම සමාගම චීනයේ වරායන් 12-13 ක් පමණ පවත්වාගෙන යනවා.
රුහුණු ආර්ථික කලාපය පිළිබඳව දැන් අපේ අවධානය යොමු විය යුතුයි. දැනට අක්කර 1235 ක් මේ සඳහා වෙන් කර තිබෙනවා. එය කිසිවකුටත් හානියක් නොවන පරිදි කරන්නට හැකියාව තිබෙනවා.
ඉදිරි ඉඩම් බෙදා දෙන්නේ කෙසේද? මොණරාගල, මාතර ප්‍රදේශ ගැන ප්‍රශ්නයක් නැහැ. ඇඹිලිපිටියේ ඉඩම් සොයාගෙන යනවා. ගාල්ලෙන් ඉඩම් දෙන්නම් යැයි වජිර ඇමැතිතුමා පැවසුවා.
අප චමල් රාජපක්‍ෂ මැතිතුමා සමග ගොස් තිස්සමහාරාමයේ නායක හිමි ඇතුළු මහා සංඝරත්නය හමුවී කරුණු පැහැදිලි කළා. හම්බන්තොට නැතිව මේ සංවර්ධනය කරන්නදැයි අප සංඝයාවහන්සේලාගෙන් ඇසූ විට මේ ප්‍රදේශත් සංවර්ධනය විය යුතු බව උන්වහන්සේලා පැවැසුවා. මීට යොදා ගන්නා ඉඩම්වලින් 95% රජයේ ඉඩම්. පන්සල්, පුරාවිද්‍යා ඉඩම් භාවිතා කරන්නේ නැහැ.
හම්බන්තොට ඉඩම් හඳුනා ගැනීම පිළිබඳව දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාටත් හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතාටත් තීරණය කරන ලෙස අප දැනුම් දුන්නා. මහින්ද අමරවීර සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරුන් සමග ඒ ගැන සාකච්ඡා කර තීරණ ගන්නා ලෙස ද පවසා තිබෙනවා. මොණරාගල සහ හම්බන්තොට වර්ග කිලෝමීටර් 7000 ක් තිබෙනවා. කර්මාන්ත එනවා නම් අපට තවත් ඉඩම් ලබාදිය හැකියි. කර්මාන්ත බිහි කිරීම සඳහා වැල්ලවායෙත් ඒකළේ ඉඩම් වෙන්කර තිබුණා. එසේ නම් වැල්ලවාය, මොණරාගල දක්වා සංවර්ධන තීරුවක් ඇති කිරීම පිළිබඳවත් අප සාකච්ඡා කළා.
මාතර ඉඩම් අප නම් කර තිබෙනවා. ගාල්ලේ ඉඩම් යොදවන්නේ කෙසේදැයි වජිර අබේවර්ධන ඇමැතිතුමා කල්පනා කරනවා.
රුහුණු ආර්ථික කලාපය පිළිබඳව සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කරන්න මා තීරණය කළා. සාගල රත්නායක ඇමැතිතුමන්ගේ සභාපතීත්වයෙන් චමල් රාජපක්‍ෂ හිටපු කතානායකතුමන් සම සභාපති ලෙසත්, සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර, විජිත් විජිතමුණි සොයිසා, රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විතව මේ කමිටුව පත් කරනවා. අප කර්මාන්ත, හෝටල් ඉදිකරන්නේ කෙසේද පිළිබඳව ඒ කමිටුවෙන් තීරණය ගන්නවා.
ඩොලර් බිලියන පහක ආයෝජනයක් ලංකාවට ගෙන ඒමට චීනය සූදානමින් සිටින බව චීන තානාපතිතුමන් අප සමග පැවැසුවා. ඊළඟ වසර තුන හතර ඇතුළත මේ ආයෝජනය ගෙනෙන බවද ඔහු පැවැසුවා. ඒ ආයෝජනවලින් කොටසක් මොණරාගලටත් එනවා. ගාල්ල, රත්නපුර, බදුල්ල හැම ප්‍රදේශයකම හොඳ වෘත්තීය පුහුණු ආයතන ගණනාවක් ඇති කිරීම අපේ අපේක්‍ෂාවයි. අප ඒ ජාලය ඇති කර ගත යුතුයි.
හම්බන්තොටින් ඩොලර් බිලියන ගණනාවක් එනවා නම් විශාල වැඩකොටසක් මේ ප්‍රදේශයේ කළ හැකියි. මේ ඇරැඹුම පමණයි. අප මෙතැනින් අවසන් කරන්නේ නැහැ. අපේ ඉලක්කය නිරිතදිග තීරුව යනුවෙන් ආර්ථික තීරයක් ඇති කිරීමයි. විදේශ රටවලූත් එවැනි සංවර්ධන කලාප ඇති කර තිබෙනවා.
නිරිතදිග සංවර්ධන තීරුව මහනුවර සිට වැල්ලවාය දක්වා ව්‍යාප්ත වෙනවා. මධ්‍යම, වයඹ, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත් ආර්ථික තීරුවක් ලෙස දියුණුවට පත්වීමට නියමිතයි. විශාලතම ආර්ථික කලාපය වන්නේ බස්නාහිර මහා නගරයයි. ලක්‍ෂ 85 ක් ජීවත් වන නගරයක් බවට එය පරිවර්තනය කරනවා. මෙරට සීමාවෙන් පිට මූල්‍ය නගරයක් ද එහි බිහි වෙනවා.
කර්මාන්ත මෙන්ම නවීන කෘෂිකර්මය, ධීවර, නිවාස ගොඩනැගිලි සහිත ආර්ථික කලාප අප බිහි කරනවා. මේ සංවර්ධන කාර්යයේදී ලංකා ජනගහනයෙන් 70% ක්ම පමණ ආදායම් මාර්ග ලැබෙනවා. රටේ අනෙක් අය අමතක කරලා නැහැ.
ඊසාන දිග ප්‍රදේශයට ත්‍රිකුණාමලය සම්බන්ධ කරගෙන දියුණුවක් ලබා දෙනවා. හම්බන්තොට දියුණු කරන්න අපට චීන ආධාර ලැබෙනවා. මහනුවරට ජපන් ආධාර ලැබෙනවා. සිංගප්පූරුවේ, ඉන්දියාවේ ආධාර ලැබෙනවා. ආසියාවේ ප්‍රධාන රටවල් 4ක් එකතු කරගෙන අපේ ශක්තියද ලබාගෙන මේ වැඩකටයුත්ත කරනවා. විජිතමුණි සොයිසා ඇමැතිතුමත් කියූ පරිදි සුද්දන් නැති කළ වෙල්ලස්ස, විශාල ආර්ථික බලවේගයක් කරන්න උපකාර කරන සැමට ස්තඣති කළ යුතුයි. අප දැන් බලගතු ශ්‍රී ලංකාවක් ඇති කරන ගමන අරඹා තිබෙනවා. ඒ යන ගමන කිසිවකුට නවත්වන්න බැහැ. දියුණු රටවල් සේ ශක්තිමත් ස්ථිර ආඩම්බර විය හැකි අනාගතයක් ආරම්භ කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.