මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ ගත කරන්නේ අපේ සංවර්ධන යුගයේ පළමු අදියරයි- කොග්ගල කම්හලෙන් රැකියා 8000 ක්

    ජනවාරි 08, 2017

    වැඩි ආදායම් මාර්ග මෙරට නිර්මාණය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. ජනතා බලාපොරොත්තු ඉදිරියට ගෙන යාමට අප කැපවී සිටිනවා.රැකියා නිර්මාණය කර ගැනීමට නම් දේශපාලන ස්ථාවර බවක් ඇති කර ගත යුතුයි.මේ ගත කරන්නේ අපේ සංවර්ධන යුගයේ පළමු අදියරයි.කොග්ගල කම්හලෙන් රැකියා 8000 ක් ලබා දීමට එකඟ වී තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    කොග්ගල, නිදහස් වෙළෙඳ කලාපයේ ආරම්භ කරන නවතම කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  මේ බව ප්‍රකාශ කළේ ය.

     

    එහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

    මේ රටේ බාල තරුණ මහලූ ජනතාව බහුතරයක් එකතු වී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කළේ හොඳ අනාගතයක් උදාකර ගැනීම සඳහායි. තමන්ට රැකියා ලැබේවි. ආදායම වැඩිවේවි යන බලාපොරොත්තුව ඔවුන්ට තිබිණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති ජාතික ආණ්ඩුව දෙවන සංවත්සරයේදී මෙම සංවර්ධන කාර්යය ඇරැඹුයේ ඒ ජනතා බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහායි.

    මේ සතිය ඇතුළත ජනාධිපතිතුමාත් මමත් උත්සව කීපයකට සහභාගී වුණා. පන්නල මාස් කර්මාන්ත ශාලාව, කුලියාපිටියේ වෙස්ටන් ඔටෝ මොබයිල් ආයතනය, හොරණ ටයර් කම්හල මෙන්ම අද විවෘත කෙරෙන ඒ.ටී.ජී. හෑන් කෙයා ; ආයතනයත් රැකියා දහසය දහසක් උත්පාදනය වෙනවා. මෙම කම්හලට පළමු අදියර අවසන් වනවිට හාරදහසක් දෙනා බඳවාගන්නා බව මට අද දැනුම් දුන්නා. දෙවන අදියරේදී තවත් හාරදහසකට රැකියා ලබාදීමට නියමිතයි.

     

    හබරාදුවෙන් මෙතරම් රැකියා දෙන්න පිරිස් ඉන්නවාදැයි චන්දිම ඇමැතිතුමාත් දැන් කල්පනා කරනවා ඇති. හම්බන්තොට කර්මාන්ත පුරයේ පළමු අදියරෙන් පමණක් රැකියා දස දහසක් ලබාදීමට නියමිතයි. එවිට ඉතා කෙටි කාලයක් තුළ රැකියා 26000 ක් නිර්මාණය වෙනවා.

     

    මේ කම්හල් ඇරැඹිමට 1993 වසරේදී විජේතුංග ජනාධිපතිතුමාත් සමග මෙහි පැමිණියා. මෙය ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ අදහසක්. එදා සිට අද දක්වා වසර 23ක් ගත වුවත් මෙහි සේවය කරන්නේ 20,000 – 22,000 ක් පමණ සේවක පිරිසක් පමණයි. ජාතික රජය මැදිහත්වී එක සතියක් ඇතුළත ඊට වඩා වැඩි පිරිසකට රැකියා ලබාදීමේ ව්‍යාපෘති ඇරැඹිමට හැකියාව ලැබී තිබෙනවා. සමහර විට ඒ කාරණය වාර්තාවක් විය හැකියි.

    නමුත් අපට ඇති අභියෝගය දෙස බැලූ විට ඒ වාර්තාව ප්‍රමාණවත් නැහැ. අප හමුවේ විශාල අභියෝගයක් තිබෙනවා. මීටත් වඩා වැඩි ආදායම් මාර්ග මෙරට නිර්මාණය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. අප ලංකාවේ වාර්තාවක් තැබූ නිසා තවත් රැකියා බිහි කළ යුතු නැතැයි සමහරුන් කියාවි. නමුත් අපට එම වේගය ප්‍රමාණවත් නැහැ.

    ජාතික රජයේ අරමුණ මෙරට තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමයි. මෙරට සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමයි. පාසලෙන් පිටවන තරුණ තරුණියන්ට හොඳ රැකියාවක් තිබිය යුතුයි. අතේ මුදල් තිබිය යුතුයි. විවාහ වී ගෙවල් දොරවල් හදාගෙන හොඳ ජීවිතයක් ගත කළ යුතුයි. දරුවන්ට හොඳ පාසලක් තිබිය යුතුයි. හැකි අයුරින් ත්‍රීරෝද රථයක් හෝ මෝටර් රථයක් මිලදී ගත යුතුයි. සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තුව එයයි. කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න ජනතාවට අපේක්‍ෂාවක් තිබෙනවා. ඕනෑම රටක ඕනෑම ජනතාවක් එය බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කිරීමට ආණ්ඩුවට ආර්ථික ශක්තියක්, හැකියාවක් තිබිය යුතුයි. ඒ ජනතා බලාපොරොත්තු ඉටු නොකර නිකරුණේ ජාතිවාදය ඇදගෙන කෑ ගැහුවාට වැඩක් වෙන්නේ නැහැ. ජනතා බලාපොරොත්තු ඉදිරියට ගෙන යාමට අප කැපවී සිටිනවා.

     

    මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළේ ඒ ජනතා අරමුණු ඉටු කර ගැනීම සඳහායි. ඉදිරියට යාම සඳහා අපට ඇති අභියෝග මොනවාදැයි අප දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂයත් එක්වී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ ඒ අභියෝගවලට මුහුණදීම සඳහායි.

     

    ජාතික ආණ්ඩුව ගෙනයන එකත් හරි අමාරු වැඩක්. බලයට කඹ අදින පක්‍ෂ දෙක වසර පහක් එකට ඉන්න පොරොන්දු වී සිටිනවා. ඊළඟ මැතිවරණයේදී එක් පක්‍ෂයක් පරාජය කර ජය ගැනීමට දෙපිරිසම උත්සහ කරනවා. බැන බැන හෝ අපි මේ ගමන එකට යනවා.

    නමුත් අප මෙම සුබවාදී තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි. ඊළඟ ඡන්දයේදී මොන පක්‍ෂය දිනුවත් රටේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැහැ. අපේ ආයෝජන ආරක්‍ෂා වෙනවා යන සංකල්පය නිර්මාණය විය යුතුයි.

    දැන් අප රටට ආයෝජකයන් එනවා. කව්රු ආවත් ආයෝජන ආරක්‍ෂා වෙනවා. ලංකාවේ පළමුවරට අප එවැනි ස්ථාවර බවක් ඇති කරනවා. යුරෝපයේ ඇති ස්ථාවර බව, ඉන්දියාවේ ඇති දේශපාලන ස්ථාවර බව, ගැන සිතන්න. මෙරටත් ඒ අයුරින් රැකියා නිර්මාණය කර ගැනීමට නම් දේශපාලන ස්ථාවර බවක් ඇති කර ගත යුතුයි. මේ ගත කරන්නේ අපේ සංවර්ධන යුගයේ පළමු අදියරයි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සමයේ සිට මෙරට ශීඝ්‍ර සංවර්ධන යුගයක් ඇරැඹුනා. කාර්මාන්ත ඇති කිරීමට, සංචාරක ව්‍යාපාරය ඇති කිරීමට ඉදිරියට යන්න ආරම්භ වුණා. නමුත් ඒ යුගයේ යුද්ධය ආවා. සංවර්ධනය අමතක කොට යුද්ධය කළා. යුද ජයග්‍රහණයෙන් පසුවත් සංවර්ධනය ආවේ නැහැ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග එක්ව අප සංවර්ධන යුගයක් ඇරැඹුවා.

     

    දැන් අපට විශාල සංවර්ධන යුගයක් ඇරඹිය යුතුව තිබෙනවා. විශාල දියුණුවක් ඇති කළ යුතුව තිබෙනවා. 1977 වසරේදී ලංකාවට තරග කළ යුතුව තිබුණේ සිංගප්පූරුව, මලයාසියාව වැනි රටවල් සමගයි. ජපානය, කොරියාව එකලත් අපට වඩා ඉදිරියෙන් සිටියා. අද අපට රටවල් රාශියක් සමග තරග කළ යුතුව තිබෙනවා. ඉන්දියාව, චීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, කාම්බෝජියාව, බංග්ලිදේශය, පාකිස්තානය සමග අප තරග කළ යුතුයි. අප ඒ අයගේ වෙළෙඳපොළත් අල්ලා ගත යුතුයි.

    පළමුවෙන්ම ස්ථාවර බවක් සහිත ආණ්ඩුවක් ඇති කොට දෙවැනුව ලෝකයේ වෙළෙඳපොළ අල්ලා ගත යුතුයි. ඒ සඳහා අප සාකච්ඡා පවත්වමින් සිටිනවා. ලෝකයේ ප්‍රධාන වෙළෙඳපොළ පහෙන් තුනකට අවතීර්ණ වීමට අප සාකච්ඡා කරමින් සිටිනවා. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනයත් ලබා ගන්නවා. ඉන්දියාව සමග එට්කා ගිවිසුම, චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම අප අත්සන් කරනවා.

    ජපානය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳවත් අප සාකච්ඡා කරනවා. අපට ඉතිරි වී ඇත්තේ ඇමරිකාව පමණයි. ඇමරිකාවේ ප්‍රතිපත්ති කෙබඳුදැයි අපට පැහැදිලි නැහැ. ඒ ගැන පැහැදිලි කරගත් පසුව අපට ඇමරිකාව පිළිබඳව කල්පනා කළ හැකියි. එවැනි විශාල වෙළෙඳපොළක් අප විසින් නිර්මාණය කර තිබෙනවා. ඒ වෙළෙඳපොළට වැඩිපුර භාණ්ඩ අවශ්‍යයි. වැඩිපුර කර්මාන්ත ශාලා අවශ්‍යයි.

    මේ තිබෙන කර්මාන්ත ශාලා දියුණු වීමට, ආදායම් වැඩිවීමට නියමිතයි. තව වසර පහක් හයක් ගත වන විට මෙහි සේවය කරන පිරිසගේ වේතනය වැඩි වේවායැයි මා ප්‍රාර්ථනා කරනවා. අපේ පරමාර්ථය එයයි.

    දකුණෙන් කර්මාන්ත පුරයකට එදා තිබුණේ කොග්ගල පමණයි. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක වූ විට කර්මාන්ත තවත් දියුණුවට පත් වෙනවා. එක් පැත්තකින් කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය තිබෙනවා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළ සහ හම්බන්තොට වරාය තිබෙනවා. මධ්‍යයේ පිහිටා ඇත්තේ හොඳම ප්‍රදේශයයි. එම නිසා කොග්ගලින් පසු ඊළඟ කර්මාන්ත කලාපය ඉදිකිරීම සඳහා මේ ප්‍රදේශයේ එලිමන්ට් වත්ත නම් කර තිබෙනවා. කඹුරුපිටිය, මාතර ප්‍රදේශවලත් කර්මාන්ත ඇති කිරීම සඳහා ඉඩම් සොයනවා. බෙන්තර සිට ගාල්ල දක්වා විශාල විශේෂ සංචාරක ව්‍යාපාරයකින් රාත්‍රියකට ඩොලර් දහසක් ගෙවන සංචාරකයන් එන ස්ථාන දෙක තුනක් ඉදි කරනවා.

    ගාලූ නගරය විශාල කිරීමට නියමිතයි. අයි.ටී. කර්මාන්තය ගාල්ලට ගෙන ඒම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. එමෙන්ම ඒ ප්‍රදේශයේ සාම්ප්‍රදායික කුරුදු කර්මාන්තය දියුණු කිරීමටත් අප ක්‍රියා කළ යුතුයි. මාතරින් ඔබ්බට හම්බන්තොට ප්‍රදේශයෙන් විශාල දියුණුවක් ඇති කිරීමට නියමිතයි.

    ලොව විශාලතම පිහිණුම් තටාකය වූ හම්බන්තොට වරායත් රැකියා උත්පාදනය කිරීමට, ප්‍රයෝජනයක් ගැනීමට අප ක්‍රියා කරනවා. හම්බන්තොටට කර්මාන්ත ශාලා ගෙන ඒමට සූදානම් පිරිස් මෙහි සිටිනවා. අප මේ රටේ විරැකියාවට විසැදුමක් ලබාදිය යුතුයි. හොඳ රැකියා සොයා දිය යුතුයි. අනාගතය ගැන යම් ස්ථාවර බවක් ඇති වන්නේ එවිටයි. රැකියා නොමැති නිසා බොහෝ අය මැද පෙරදිග යන්නට පෙළඹි සිටිනවා. රැකියාවක් නැති නිසා ත්‍රීරෝද රථ සේවාවට හුරු වෙනවා. මේ තත්ත්වය අප වෙනස් කළ යුතුයි.

    මේ සංවර්ධනයට විරුද්ධ වීම ගැන මම පුදුම වෙනවා. අද හම්බන්තො සංවර්ධනය නවත්වන්න කරන පෙරලිය බලන්න. චීනයේ එදා මිතුරන් අද හතුරන් බවට පත්වෙලා. ඉන්දියාවේ එදා හතුරන් අද ඉන්දියාව වෙනුවෙන් කිඹුල් කදුළු හෙලනවා. මේ කිඹුල් කඳුළුවලට කව්රුවත් රැවටෙන්නේ නැහැ.

    අන්තිමට මේ සංවර්ධනය නතර කළහොත් හානිය වන්නේ කාටද? දකුණේ සංවර්ධනය නතර කළහොත් හානිය වන්නේ කාටද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට හානියක් වන්නේ නැහැ. එතුමා නියෝජනය කරන්නේ පොළොන්නරුවයි. ජනාධිපතිතුමන්ට කිසිම ප්‍රශ්නයක් වන්නේ නැහැ. මට ප්‍රශ්නයක් වන්නේත් නැහැ. මම නියෝජනය කරන්නේ කොළඹනගරයයි. මට ප්‍රශ්නයක් නැහැ. මම ජීවත් වන්නේ ඒ ප්‍රදේශයේයි. මේ විරෝධය පෑම් නිසා අපේ අනාගතය අඳුරු වන්නේ නැහැ. අඳුරු වන්නේ කාගේ අනාගතයද? මේ තරුණ තරුණියන්ගේ අනාගතයයි. බාධා කිරීම්. සංවර්ධනයට එරෙහිව කකුළෙන් ඇදීමෙන් වන ප්‍රයෝජනය කුමක්ද? සංවර්ධනය කරන්නේ අප වෙනුවෙන් නොවේ අපට සංවර්ධනය වීමට දෙයක් නැහැ. අපට හොදින් ජීවත්වීමට වත්කම් තිබෙනවා. සංවර්ධනය කරන්නේ ජනතාව වෙනුවෙනුයි. සංවර්ධනයට අකුල් හෙලනවා යනු ජනතාවට කරන ද්‍රෝහී කමක්.

    මේ සංවර්ධනයට එරෙහි වූ මාධ්‍ය බලවේගය පිළිබඳවත් මා පුදුමයට පත් වුණා. දැන් ඒ බලවේගයත් කැඩිලා අවසන්. තරුණයන්ට විරුද්ධව යන්නේ ඇයි. මෙලෙස ක්‍රියා කරන්නේ ඇයි. සංවර්ධන ක්‍රියාදාමය තවත් ඉදිරියට ගෙන යා යුතුයි. අප අලූත් නීති ගේනවා. ශීඝ්‍රයෙන් තීරණ ගැනීම සඳහා ඒ නීති ඉවහල් වෙනවා. පුහුණු කිරීමේ සංග්‍රාමයක් අප අරඹනවා.

    හම්බන්තොට පමණක් නොව ත්‍රීකුණාමල සංවර්ධන සංග්‍රාමයත් අප ආරම්භ කරනවා. එය පටන් ගැනීමට ඉන්දියාව, සිංගප්පූරුව සහ ජපානය අපට උපකාර කරනවා. හැම රටක්ම ලංකාවට උදව් කරනවා. එය කොතරම් හොඳ දෙයක්ද, අපට සල්ලි නැහැ. අපි බංකොළොත් වෙලා. වෙන මිනිහෙකුගේ සල්ලි අරගෙන හෝ අපි අපේ වැඩේ කර ගනිමු. චීනයෙන්, ජපානයෙන්, ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, සිංගප්පූරුවෙන් මුදල් ආවත් එම මුදල් අරගෙන අපි අපේ ප්‍රශ්න විසදා ගනිමු.

    ලංකාවේ අයෝජන වලින් පමණක් මේ ප්‍රශ්න විසඳන්න බැහැ. විදේශ ආයෝජන අවශ්‍යයි. එමෙන්ම විදේශ වෙළෙඳපොළට යාම සඳහා දැනුම අවශ්‍යයි. අප කැපවී සිටින්නේ ඒ වැඩ කටයුත්ත කිරීමටයි. ඒ සඳහා ඔබ සැමගේ සහයෝගය අපේක්‍ෂා කරනවා.

    ඒ.ටී.ජී. ආයතනය මුලින්ම ලංකාවට ආවේ මා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරන යුගයේදීයි. අද ඔවුන් විශාල වශයෙන් දියුණුවට පත්වී සිටිනවා. කොග්ගල කම්හලෙන් රැකියා 8000 ක් ලබා දීමට එකඟ වී තිබෙනවා. මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් ඒ සඳහා බදවා ගන්න. වැඩි පිරිසකගේ අතට මුදල් ලබාදීමට මේ සමාගමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya