නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපවත් වී වදාළ මඩිතියවෙල මේධංකර නාහිමිපාණන් වහන්සේට අගමැති සොව පළ කරයි

    දෙසැම්බර් 17, 2016

    අපවත් වී වදාළ මඩිතියවෙල මේධංකර නාහිමිපාණන් වහන්සේට අගමැති සොව පළ කරයි

    අඹේපුස්ස, පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහා පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය මඩිතියවෙල මේධංකර නාහිමිපාණන් වහන්සේ සුවිශේෂ ශාසනික, අධ්‍යාපනික, සමාජ මෙහෙවරක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ යතීන්ද්‍රයාණන් වහන්සේ නමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    එම සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.

    "අඹේපුස්ස, පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහා පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය මඩිතියවෙල මේධංකර නාහිමිපාණන් වහන්සේ 1962 වසරේ පැවිදි දිවියට සැපත් ව, 1964 වසරෙහි අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා එතැන් සිට සුවිශේෂ ශාසනික, අධ්‍යාපනික, සමාජ මෙහෙවරක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ යතීන්ද්‍රයාණන් වහන්සේ නමකි.
     
    1972 වසරේ සිට 2010 වර්ෂය තෙක් පිරිස්යාල සේනානායක මහ පිරිවෙනේ පරිවෙණාධිපති ධූරය හෙබවූ උන්වහන්සේ අති විශාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් සම්බුදු සසුනට දායාද කළහ. අනුරාධපුර ශ්‍රී  මහා මහින්ද පිරිවෙන රජය පිළිගත් පිරිවෙනක් බවට පත්කිරීම, විජය ශ්‍රී මුනින්දෝභාස පිරිවෙන ආරම්භ කිරීම, මීගමුව විජය ප්‍රසාද පිරිවෙන, පිරිස්යාල සේනානායක මහ පිරිවෙන යන පිරිවෙන්හි අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම ආදී වශයෙන් පිරිවෙන් අධ්‍යාපනයෙහි උන්නතිය වෙනුවෙන් උන්වහන්සේ ඉටුකළ මෙහෙවර අතිශය ප්‍රශස්තය.

    පිරිවෙන් අධ්‍යාපන ආයතන 4 ක සහ විහාරස්ථාන 18 ක නායකත්වය දැරූ අප අනුනායක ස්වාමින් වහන්සේ එම විහාරස්ථානවල අභිවෘද්ධිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටුකළහ. සේනානායක මුචලින්දාරාම මහා පිරිවෙන් විහාරය අංගසම්පූර්ණ විහාරස්ථානයක් ලෙස දියුණු කිරීමටත්, තමන් අධිපතිධූර දැරූ විහාරාරාම අටක චෛත්‍ය රාජයාණන්වහන්සේලා අටනමක් ඉදිකිරීමටත් පුරෝගාමීව කටයුතු කළහ. අලූතින් විහාරස්ථාන කීපයක් ඉදිකළ උන්වහන්සේ සැදැහැවත් ජනතාවගේ අධ්‍යාත්මික දියුණුව උදෙසාද  මහත් කැපවීමෙන් කටයුතු කළහ.

    ලක්දිව සම්බුදු සසුන සමඟ දීර්ඝ කාලයක් බැඳී පවතින ශාසනික, අධ්‍යාපනික සේවාවන් රැසක් අප්‍රතිහත ධෛර්යයෙන් සහ අවංක කැපවීමෙන් ඉටුකළ අතිපූජ්‍ය මඩිතියවෙල මේධංකර නාහිමිපාණන් වහන්සේ චිරාත් කාලයක් ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවෙමින් බැතිමත් සිත්සතන් තුළ විරාජමාන වනු නොඅනුමානය.  
     
    සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයකු ලෙස බුද්ධ ශාසනයේත්, සංඝ සමාජයේත්, දේශයේත් අභිවෘද්ධිය උදෙසා අතිපූජ්‍ය මඩිතියවෙල මේධංකර අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ඉටුකළ මෙහෙවර මෙත් සිත් පෙරදැරිව සටහන් කරමින්, උන්වහන්සේට උතුම් වූ නිර්වාණ සම්පත්තිය අත්වේවායි ප්‍රාර්ථනය කරමි."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya