එම සම්පූර්ණ ශෝක පණිවුඩය පහත සඳහන් වේ.
"දකුණු ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් නොව සමස්ත භාරත දේශයේ ජනතා ආදරය සහ ගෞරවය දිනා ගත් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් මැතිනිය ජීවිතයෙන් සමුගැනීම බලවත් සංවේගයට කරුණකි.
හය වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය ලෙස තේරී පත් වූ ජයලලිතා ජෙයරාම් මහත්මිය, රෝගාතුරව සිටියදීත් පැවති මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වූයේ ඇය පොදු ජනතාවගේ විශ්වාසය දිනාගත් ජනතා නායිකාවක් වූ බැවිනි.
දේශපාලනමය වශයෙන් ප්‍රතිවිරෝධතා පැවතිය ද, ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ ධීවරයන් මුහුණ දෙන ගැටලූ විසදා ගැනීමේදී මානුෂිකව මැදිහත් විය යුතුය යන්න ඇයගේ ස්ථාවරය විය. එය ජයලලිතා ජෙයරාම් මැතිනියගේ මානව හිතවාදී බවට පැහැදිලි නිදසුනකි.
එමෙන්ම දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මානුෂීය සහ සමාජයීය සබඳතා තහවුරු කිරීමට ඇය බොහෝ අවස්ථාවන්හිදී කැප වී කටයුතු කළාය.
තමිල්නාඩු ජනතාව විසින් ඉමහත් ගෞරවයෙන් ‘අම්මා’ ලෙසින් හැදින්වූ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මැතිනිය ඉටුකළ පොදුජන මෙහෙවර ජනතාවගේ සිත්සතන් තුළ සදානුස්මරණීය වනු ඇත."