අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගං වතුරෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම තවදුරටත් කි‍්‍රයාත්මක කරන්න

    ජූනි 06, 2014

    ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්


    (දෙවන යාවත්කාලීන කිරීම) අයහපත් කාලගුණික තත්ත්වය සහ හදිසි ගංවතුර හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම විධිමත් වැඩපිළිවෙළක් යටතේ තවදුරටත් කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.


    එම කටයුතුවලදී අදාළ දිස්ති‍්‍රක්කවල දිස්ති‍්‍රක් ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරින් සිදු කරන කැපවීම ද අගය කළ ජනාධිපතිතුමා ජනතාවට අවශ්‍ය සියලු සහන සැලසීම සියලු නිලධාරින්ගේ වගකීම බවද කියා සිටියේ ය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසූවේ ඊයේ (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ආහාර සුරක්ෂිතතාව හා ජීවන වියදම් පාලනය පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවට එක් වෙමිනි. වෙළඳපළ භාණ්ඩ මිල ගණන් සාධාරණ ලෙස පවත්වාගෙන යාම සඳහා ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.


    වෙළඳපොළ භාණ්ඩ මිල ගණන් සාධාරණ ලෙස පවත්වාගෙන යාම සඳහා ආර්ථක මධ්‍යස්ථාන 12ක් සහ ලක් සතොස සහ සමූපකාර සමිති දිවයින පුරා පිහිටුවීමේ වැඩපිළිවෙළක් සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් කි‍්‍රයාවට නංවා ඇත. එහි ප‍්‍රගතිය පිළිබඳවද මෙහිදී ජනාධිපතිතුමා කරුණු විමසීය.


    2014 යල කන්නයේ නියඟය හේතුවෙන් වී නිෂ්පාදනය අඩුවීම නිසා ඉදිරියේදී මතුවිය හැකි සහල් හිඟය පිළිබඳවද මෙහිදී නිලධාරින්ගේ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය සහල් තොග පවත්වාගෙන යන ලෙසද උපදෙස් ලබා දුන්නේ ය.


    වෙළඳපොළ සහල් මිල පාලනය සඳහා සහල්වල ගුණාත්මකභාවය රැක ගනිමින් විද්‍යාත්මක සහල් ගබඩා පවත්වාගෙන යාම සඳහා ද මෙහිදී අවධානය යොමු කෙරිණි. රුපියල් මිලියන 18ක වියදමින් මෙම විද්‍යාත්මක සහල් ගබඩාවක් දැනට වේයන්ගොඩ ප‍්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර එය අනෙකුත් ප‍්‍රදේශවලද ව්‍යාප්ත කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ ය.


    නුවරඑළිය, වැලිමඩ ප‍්‍රදේශවල අහිතකර කෘමිනාශක භාවිතය පිළිබඳ ගෙන යන අසත්‍ය ප‍්‍රචාරය හේතුවෙන් එම ගොවීනට තම නිෂ්පාදන අලෙවිකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ කාබනික පොහොර වැඩිම ප‍්‍රමාණයක් භාවිත කරන මෙම ප‍්‍රදේශ පිළිබඳ ගෙන යන මෙම අසත්‍ය ප‍්‍රචාරය නිවැරදි කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.


    ළදරු පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. වසරකට දරු උපත් තුන්ලක්ෂ අනූදහසක් පමණ සිදුවන අතර ඉන් සියයට 17ක ප‍්‍රමාණයක පෝෂණ තත්ත්වය දුර්වල බව ද මෙහිදී අනාවරණය කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ගර්භනී මව්වරුන්ගේ මෙන්ම ළදරු පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමටද උපදෙස් දුන්නේ ය.


    අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රාජිත සේනාරත්න, සී.බී. රත්නායක, ජගත් පුෂ්පකුමාර, නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත‍්‍රපාල යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු නිලධාරිහු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


    HC/ECB/PMU

    he2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya