මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මතින් සමාජය ගලවා ගැනීමට සියලු දෙනා එක්විය යුතුයි- ජනපති

    නොවැම්බර් 16, 2015

    මත්ද්‍රව්‍ය අළෙවිය සහ බලපත‍්‍ර සම්පූර්ණයෙන් තහනම් කර දැමීමට ජනාධිපතිවරයා ලෙස තමා නිසැකවම සූදානම් නමුත් අද පුළුල් සමාජ බලවේගයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන් තහනම් කර දැමිය හැකිද යන්න ලෝකයම මුහුණ දී ඇති බරපතල සමාජ ගැටලුවක් බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ලෝකයේ ඉහළම සංවර්ධනයක් තිබෙන ප‍්‍රබල රටවල සිට මානව සමාජයේ සියලු දෙනා අද මත්ද්‍රව්‍ය පිළිබඳ අභියෝගයට මුහුණ දී සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන් සමාජයෙන් තුරන් කර දැමිය නොහැකි නමුත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සමාජය ගලවා ගැනීම සදහා සියලු දෙනා ඒකරාශි විය යුතු බව ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ,මතින් නිදහස් රටක්, ජාතික වැඩසටහනේ තුන්වන අදියරට අද (16) පෙරවැවේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේදී එක් වෙමිනි.

    නීති වීරෝධි මත්ද්‍රව්‍ය පිළිබඳ කටයුතු වලදී තනතුරු සහ හිතවත්කම් මත කිසිවෙකුට කිසිදු සහනයක් ලබාදීමට තමන් සූදානම් නොමැති බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා වැරදිකරුවන්ට ලබාදිය හැකි උපරිම දඩුවම් ලබාදීම රජයේ ප‍්‍රතිපත්තිය බවද කියා සිටියේය.

    පාසල්, විහාරස්ථාන සහ නගර ආසන්නව මත්ද්‍රව්‍ය අළෙවිය පිළිබඳ දැඩි පාලනයක් ඇති කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බවද ජනාධිපතිතුමා පැවසීය.

    මත්ද්‍රව්‍ය වැටලීම් සහ වැළැක්වීම් පිළිබදව උපරිමයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමට රජය කටයුතු කළද මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සමාජ වගකීමක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරු, සමාජ කි‍්‍රයාකාරින් ඇතුථ සියලූදෙනා ඒ සදහා ඒකරාශි විය යුතු බව පෙන්වා දුන්නේය.

    අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු සෑම රාජ්‍ය ආයතනයක් තුළම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද ඒකකයක් ස්ථාපිත කිරීමටද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් අතර මත්ද්‍රව්‍යවලින් වැළකීම පිළිබද පණිවිඩය සමාජයේ පහළ සිට ඉහළට නොව ඉහළ සිට පහළට ලබාදීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් දිස්ති‍්‍රක් මටිටමින් මත්ද්‍රව්‍ය නිවාරණය සහ මර්දනය පිළිබද අවශ්‍ය චක‍්‍ර ලේක සහ උපදෙස් මේ වන විට නිකුත් කර ඇති බව පැවසූ ජනාධිපතිතුමා දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඒ වෙනුවෙන් වැඩි බලයක් ලබාදී ඇති බවත් එම වැඩසටහන සකී‍්‍රයව කි‍්‍රයාත්මක කිරීමට සියලු දෙනා එක්විය යුතු බවත් ප‍්‍රකාශ කළේය.

    අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, කබීර් හෂීම්, සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරු රැසක් ද ප‍්‍රදේශවාසින්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya