මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝභිත නාහිමියන්ගේ අපේක්ෂාව ඉටු කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක්- අගමැති

    නොවැම්බර් 10, 2015


    මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අපේක්ෂා කළ සාධාරණ සමාජය ගොඩනැගීමේ වගකීම වත්මන් රජයේ ප්‍රමුඛ කාර්යභාරයක් විය යුතු බවත් ඒ සඳහා සමස්ත ජනතාව පෙළගැසිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළ අතර අගමැතිවරයාගේ එම ශෝක පණිවුඩය පහත සඳහන් පරිදි වේ.

     

    "සදාචාරසම්පන්න සමාජයක්, පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් නොනිමි සිහින යථාර්ථයක් කරගැනීමට දශක ගණනාවක් අභීතව අවිහිංසාවාදී අරගලයක නිරත වූ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙකු දැයට අහිමි වී තිබේ. කිසිදු පක්ෂයකට, ජාතියකට ආගමකට සීමා නොවූ ඒ යතීන්ද්‍රයාණන් වහන්සේ "මාදුළුවාවේ සෝභිත" යන නාමය ලක් ඉතිහාසයේ උත්තරීතර මං ලකුණක්ව ශේෂ කොට නික්ම ගියහ.

     

    කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපති, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ පරම පූජනීය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අභාවය රටටත්, ජනතාවටත් පිරිමැසිය නොහෙන පාඩුවක් බව මහත් වූ සංවේගයෙන් ප්‍රකාශ කරමි.
    1942 මැයි 29 වන දා පාදුක්ක මාදුළුවාව ගම් පියසේ උපත ලැබූ උන්වහන්සේ ළාබාල වියේදී ම පැවිදි බිමට පිවිස, විද්‍යාලංකාර විද්‍යෝදය විශ්වවිද්‍යාලෙන් තම අධ්‍යාපන කටයුතු සපුරා ගත්හ. සමාජ සාධාරණත්වය සඳහා වන ජනතා අරගලයට සරසවි බිම තිඹිරි ගෙය කොට ගත් උන්වහන්සේ, ජීවිතයෙන් සමුගන්නා තෙක්ම බුදු සසුන කෙරෙහි පමණක් නොව සමස්ත දේශයත් ජනතාවත් කෙරෙහි වූ මහත් බැඳීමෙන් අඛණ්ඩව ජනතාව සමඟ අත්වැල් බැඳ කටයුතු කළහ.

    පාලනයේ සිටින්නේ කුමන පක්ෂය වුව ද, ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත් වූ සෑම අවස්ථාවකදී ම රට තුළ යහපත් වෙනසක් ඇති කිරීමට පරම පූජනීය සෝභිත ස්වාමින්වහන්සේ නොබියව පෙරමුණ ගත්හ. එහිදී කිසිවකුට ගැති නොවූ උන්වහන්සේ කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව රටේ උන්නතිය උදෙසා ඇප කැප ව කටයුතු කළහ.
    පසුගිය කාලයේ රට වෙළාගත් අත්තනෝමතික පාලනයට එරෙහි වන්නට බොහෝ දෙන පසුබට වූ අවස්ථාවක "සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය" ගොඩනඟමින් යහපාලනය සඳහා ගෙන ගිය අරගලයේ නායකත්වය ගෙන දිවි දෙවැනි කොට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ උන්වහන්සේ ය.

    ගෞරවනීය ස්වාමින්ද්රතයන් වහන්සේ මෙරට සාහිත්යව, කලාව, පරිසරය, දහම් අධ්යා පනය මෙන්ම අමද්යීප සටනේ ද කැපී පෙණුන යුග මෙහෙවරක නිරත වූ හිමිනමකි. එමෙන්ම තුන්නිකායික මහා සංඝයා ජාතික අරමුණකට සමගි සම්පන්න කිරීමේ ජාතික මුද්‍රව ලෙස ද උන්වහන්සේ හැඳින්විය හැකිය. නූතන භික්ෂුන් වහන්සේ විෂයෙහි පරම පූජනීය මාදුළුවාවේ සෝභිත හිමි පරමාදර්ශයක් බඳු සංඝයා වහන්සේ නමකි.



    මගේ දේශපාලන ගමනට ද විටින් විට අවවාද අනුශාසනා ලබා දෙමින් උන්වහන්සේ ලබා දුන් ශක්තිය මේ අවස්ථාවේ දී ඉමහත් කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි. වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට වැඩම කිරීමට පෙර මා උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේ දී අපේක්ෂිත සමාජ වෙනස උදෙසා යහපාලන රජයේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මහාචාර්ය සරත් විජේසූරිය මහත්මා ද ඇතුළුව අප අතර දීර්ඝ සාකච්ඡාවක් ඇති විය. ඒ අනුව මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අපේක්ෂා කළ සාධාරණ සමාජය ගොඩනැගීමේ වගකීම වත්මන් රජයේ ප්‍රමුඛ කාර්යභාරයක් විය යුතු බව ද, ඒ සඳහා සමස්ත ජනතාව පෙළගැසිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.

    අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේට, උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය අත් වේවා යි ප්‍රාර්ථනය කරමි.


    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    2015 නොවැම්බර් 10"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya