මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රීලනිපයට ජනපතිගේ නායකත්වය

    ඔක්තෝබර් 30, 2015
    ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    තමා කිසිවිටෙකත් පක්ෂය පරාජය වනු දැකීමට කැමති නොවන බව පැවසු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමරණීය පක්ෂයත් බවත් පසුගිය මැතිවරණ දෙකක් අප පරාජය වු බව පිළිගනිමින් සහ ඊට හේතු වු කරුණු සොයා බලමින් ජයග්‍රහණය කරවීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යා යුතු බවත් දීප ව්‍යාප්තව ඒ ජයග්‍රාහී ගමන ඉදිරියට යාමේ ආරම්භය කඩුවෙලින් අරඹන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පස්වරුවේ කඩුවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ 
    අවස්ථාවට එක්වෙමිනි.
     
    ආරම්භ කරන ලද යහපාලනය සාර්ථක වීමට නම් ද්වීපක්ෂ ක්‍රමය පැවතිම අනිවාර්ය විය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී චරිත ඝාතන, පුද්ගලයන්ට චෝදනා කර ගැනීම් වෙනුවට දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවතින ආකාරයේ ප්‍රතිපත්ති පිළිබඳ ව සාකච්ඡාවක් ඇති විය යුතු බවත් දුෂණයෙන්, නාස්තියෙන්, හොරකමින් තොරව ශක්තිමත් මහජන සම්බන්ධතා පවත්වා ඇති පිරිස් එහිදී ජනතාව විසින් තෝරා පත්කර ගනු ඇති බවත් සඳහන් කළේය.
     
    මේ 1956, 1970 හෝ 1994 නොවන බව පැවසු ජනාධිපතිතුමා ඕනෑම පක්ෂයක් කාලයත් සමග වෙනස්වීම්වලට හැඩ ගැසිය යුතු බවට සඳහන් කළේය.
     
    ඉදිරි මාස දෙක තුළ පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් තෝරා ගැනීමට කටයුතු යොදන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එහිදී සම්මුඛ පරික්ෂණ මගින් අපේක්ෂකයන් තේරීම වෙනුවට ඒ ඒ කොට්ඨාස ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයන් ආසන සංවිධායකයන්ගේ ද අනුමැතිය මත තෝරා ගැනීමට කටයුතු යොදන බව සඳහන් කළේය.
     
    පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජය ඇරඹුණේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සම්බන්ධයෙන් එල්ල වු බරපතල චෝදනා බව සඳහන් කළ ජනාධිපතිතුමා චෝදනා නැති සියලු පළාත් පාලන නියෝජිතයන්ට අපේක්ෂකත්වය ලබා ගැනීම පිළිබඳ ව ගැටලුවක් ඇති නොවන බව සඳහන් කළේය.
     
    කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා විසින් සංවිධානය කළ මෙම උත්සවයට තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුම්න්ද දිසානායක, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya