නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෛත්‍රීව මෙහෙයවන පාලලාගේ පැටිකිරිය ඇමති විමල් හෙළිකරයි Featured

    නොවැම්බර් 23, 2014

    මෛත්‍රී පාලනයක් ඇති කරන බව පවසමින් යළි බෙදුම්වාදයට මේ රට කැන්දාගෙන යාමට උත්සාහ දරන කල්ලියේ පැටිකිරිය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හෙළි කරයි.


    “ගිය පාර ඡන්දයට රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා නම් ජනාධිපතිතුමා වැඩි ඡන්ද ලක්ෂ 18ක් ගන්නේ නැහැ. මොකද එහෙනම් ජනාධිපතිතුමා කොහොමත් කප් එක ගහනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ එතරම් උනන්දු වන්නේ නැහැ. එහෙත් ෆොන්සේකා මහත්තයා ආව හින්දා රත්වෙලා, ලේ කකියලා මුළු ජන බලවේගය ම ජනාධිපතිතුමා දිනවන වැඩේ අතට ගත්තා. මෙදා පාරත් වික්‍රමසිංහ මහත්තයා අපිට ඒ උත්තේජනය දුන්නා.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දැදුරුඔය ජලාශයේ මංගල දියවර නිකුත් කිරීමේ මහෝත්සවයේදීය. මෙම උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) එම ජලාශය ඉදිකළ පරිශ්‍රයේදී පැවැත්විණ.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “රනිල් වික්‍රමසිංහ මහතා බැළලියන් ලවා කොස්ඇට බෑමට කුමන කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළත් ලබන ජනවාරි 9 වන දා වන විට ලක්ෂ 20කට වඩා වැඩි ඡන්දයෙන් නැවත වතාවක් ජනාධිපති ධූරයට, මේ රට බේරාගත් නායක මහින්ද රාජපක්ෂ මහතා ව පත්කිරීමට කළ ගුණ දත් ජනතාව කටයුතු කරනවා.

     

    මහින්ද රාජපක්ෂ මහතා බලන් හිටියා තමන් එක්ක තරග කරන්න එන පොදු අපේක්ෂක භූතයා කවුද කියලා, ආරංචි ආවා රනිල් වික්‍රමසිංහ එනවා, කරූ එනවා, සෝභිත හාමුදුරුවෝ වඩිනවා. ශිරානි බණ්ඩාරනායක එනවා අන්තිමට ඒ එක්කෙනෙක්වත් නැහැ. හැමෝම බයයි. හැමෝගෙම තාම මොළේ වැඩ කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආරම්භ කරලා තියෙන්නේ ෆොන්සේකා දෙවන මෙහෙයුම. ගියපාර බළලුන් ලවා කොස් ඇට බෑව්වා, මේ පාර බැළලියන් ලවා කොස් ඇට බාවනවා.

     

    මම මුලින් හිතුවා මෛත්‍රී පාලනයක් කිව්වා ම රනිල්ගේ නෝනා එනවා කියලා. එයත් මෛත්‍රීනේ. අපිට මෛත්‍රීපාල ගැන ප්‍රශ්නයක් නෑ, මෛත්‍රීපාල ව පාලනය කරන පාල ලා ගැන තමයි අපිට ප්‍රශ්නය තියෙන්නේ. කවුද මේ මෛත්‍රීපාලව පාලනය කරන පාල ලා? අර පරණ නෝනා. සැටලයිට් නෝනා, වික්ටර් අයිවන් මහත්තයා කියපු චෞර රැජන, රූකාන්ත - චන්ද්‍රෙල්ඛා යුවලගේ කොණ්ඩේ කපපු නෝනා, එදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ලිඛිත ව පොරොන්දුවක් දුන්නු නෝනා අද එනවා දින 100න් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න.

     

    පාල යනවලු දින 100න් ගෙදර, දින 100න් ගෙදර යන්න මොන පාල ද ඔය වගේ වැඩකට යන්නේ? අපිට පේනවා මේක පරස්පර විරෝධී හවුලක්. එදා යුද්දෙ දිනලා දවසින් දෙකෙන් යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයාව ගත්තා. ජාතික වීරයෙක් විදියට ගරු බුහුමන් ලබන්න හිටිය එතුමාව ඉවරයක් කරලා දැම්මා. මේ පාරත් විපක්ෂය මේ කැලෙන්ම ගහක් හොයාගත්තා. මේ ගහ ෆොන්සේකා මහත්තයා තරම් වත් ගහක් නෙවෙයි. මේ පැත්තෙන් අරන් මේකට බෙල්ල තියන්න දුන්නා. මේකට තමයි තුන් කුළුදුල් බිල්ල කියන්නේ. තමන්ට දිනන්න පුළුවන් නම් රනිල් මේක වෙන කෙනෙකුට දෙනවද? නැහැ. රනිල් මේක දෙන්නේ දිනන්න බැරි කෙනෙකුට. විජයදාස රාජපක්ෂ මහත්තයා මේ ළඟදි කිව්වේ නැද්ද ෆොන්සේකාට දිනන්න බැරි බව දැනන් හිටියා කියලා? ලබන අවුරුද්දෙත් පත්තරේක ඔය කථාවම තියෙයි. ආප්ප හදනවා වගේ අපේක්ෂකයෝ හදන්න පුළුවන්ද? ජනාධිපතිතුමා එක්ක රෑ කෑම කාලා ගිය කෙනා ඊට පස්සේ දවසේ කියනවා පොදු අපේක්ෂකයාලු.

     

    දැන් සම්බන්ධන්ලා රැස්වෙලා පොදු අපේක්ෂකයට සහය දෙන්න. සම්බන්ධන්ලට ඕනේ සිංහල ඡන්ද කඩන්න, චන්ද්‍රිකා නෝනාට ඕනේ ඇගේ වෛරය පිරිමහන්න, මේක ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී බයිස්කෝප් එකක්. මේ හදන්නේ රටේ ප්‍රගතිශීලී කඳවුර කඩලා, හතුරු කල්ලිවල පරමාර්ථය මුදුන්පත් කරගන්න. රනිල්ට ඕනැ නොදැවී ඉන්න. ඒ නිසා අමාරු පන්දු නිදැල්ලේ යවනවා, නැත්තම් වෙන පිතිකරුවෙක් දානවා. මේ පිතිකරුවාගේ ලකුණු තීරණය වෙලා ඉවරයි. ජනවාරි 9 වෙද්දී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩි ඡන්ද ලක්ෂ 18ක් නොවෙයි, ලක්ෂ විස්සකින් ජයග්‍රහණය කරවන්න මේ ජනතාව කටයුතු කරන බව පැහැදිලියි.


    මේ තමයි රටට තිබෙන වැදගත් ම අවස්ථාව. අරුමෝසම්, ඉමිටේෂන් නායකයෝ මේ රටට වැඩක් නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ පැළවෙච්ච, මේ රටේ පැළයක් වුණු කිසිම අභියෝගයකට භය නැති නායකයෙක්, සතුරු කඳවුරු මොනවා කිව්වත් ජාතිය වෙනුවෙන් තීරණ ගන්න නායකයෙක්. බටහිර රටවල්වලට වුවමනා මේ නායකයා එලවලා, ආරක්ෂක ලේකම් තනතුරෙන් ගෝඨාභය රාජපක්ෂ එලවලා, උතුරේ හමුදාව දකුණට එවලා, උතුරට ඉඩම් බලතල, පොලිස් බලතල ලබා දීලා මේ රට දෙකඩ කරන්න. නැවත මේ රටේ ලේ හැලෙන්න ඕනෙද? නැහැ. මේ අපේක්ෂා භංගත්වයෙන් නන්නත්තාර වෙච්ච අයට ඕනේ රට ඒ අඳුරු අතීතයට ආයෙත් ඇදගෙන යන්න.

     

    2005ට පෙර මේ රට තිබුණු තත්ත්වයට අනුව මේ බිමේ මේ ආකාරයේ වාරි යෝජනාක්‍රමයක් ඇති වෙයි කියලා සත්කෝරළේ ජනතාව හිතුවේ නැහැ. සුද්දෙ කරන්න තියන් හිටපු යුද්දෙ අවුරුදු 4කින් ඉවරකර, රටේ සංවර්ධනය ආරම්භ කර, අද ගොවි ජනතාවට දෙන්න පුළුවන් හොඳ ම තෑග්ග තමයි සත්කෝරළය බත්කෝරළය කරන්න මේ හදපු විශාල වාරි යෝජනාක්‍රමය. යුද්ධයෙන් පස්සේ ආර්ථිකව හිස ඔසවන මේ රට ආපස්සට අදින්න මේ තක්කඩි රැළට, මේ ලක් මාතාවගේ දරුවෝ ඉඩ තියන්නේ නැහැ. මේ රැස්ව සිටින ජනතාව පෙන්වන්නේ ඒ ශක්තිය. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාට මුහුණදෙන්න ශක්තියක් තියෙන ගොබිලෙක් නැහැ. ඒ නිසා නිල් මැණිකක් හොයන්න පතල් හාරලා අන්තිමේදි දාන්නේ ආරනූලක්, ගෙවුඩයක්. ඒ නිසා මේ කුමන්ත්‍රණකාරයන්ට, කොස්ඇට බාන බැළලියට, වික්‍රමසිංහ මහත්තයා මොන කොස් ඇට බෑවත් ජනවාරි 8 වෙනිදා රටේ ජනපති, අපේ ජනපති මහින්ද රාජපක්ෂ බව මේ රොද බැඳගෙන සිටින ජනතාව පෙන්වා දිය යුතුයි ” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සංස්කෘතික අමාත්‍ය ටී. බී. ඒකනායක, ඛනිජතෙල් සංවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු මැති ඇමැති වරු රැසක්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, නිලධාරීහු, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya