මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අසුරු සැණින් අතට මුදල්" - දිවි නැගුම සහන අරුණ

    අගෝස්තු 27, 2014
    "අසුරු සැණින් අතට මුදල්" යන තේමාව යටතේ ඇපකරුවන් නොමැතිව වාර්ෂික සියයට 4ක විශේෂ සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් 50,000ක් දක්වා උපරිමයකට යටත්ව ලබාදෙන දිවි නැගුම සහන අරුණ යෝජනා ක්‍රමය ලබන සැප්තැම්බර් 01වැනිදා ඇරඹීමට නියමිතය.
     
    දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණක් වූ දිළිදු බව තුරන් කිරීම සඳහා ජනතාව සවිබල ගැන්වීමට ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. 
     
    මෙම විශේෂ යෝජනා ක්‍රමය සඳහා දිවයිනේ ග්‍රාමසේවා වසම් 14,022ක පිහිටි ගම්මාන 35,440ක ජීවත්වන දිවි නැගුම සංවර්ධන ප්‍රතිලාභී පවුල් 15ලක්ෂයක් ඇතුළු දිවි නැගුම ජාතික වැඩසටහනේ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 50ක් සුදුසුකම් ලබති. ප්‍රතිලාභීන්ගේ පාරිභෝගික අවශ්‍යතාවයන් සඳහා ණය අයදුම්පත් ලබාදුන් දිනයේදීම මුදල් ලබාගත හැකි අතර අනෙකුත් අවශ්‍යතා සඳහා අයදුම්පත ලැබී තෙදිනක් ඇතුළත මුදල් ලබාගත හැකිවීම මෙහි විශේෂත්වයකි.  
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිවි නැගුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු 1,073ක් මගින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ප්‍රතිලාභීන් වෙත ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා රුපියල් 5,000 සිට 50,000 දක්වා සහන පොළී ණය ලබාදීම සිදු කෙරේ.
     
    සැප්තැම්බර් 01වන සඳුදා පෙරවරුවේ දිවි නැගුම සහන අරුණ වැඩසටහනේ ප්‍රධාන උත්සවයට සමගාමීව රටපුරා ප්‍රදේශීය  ලේකම් කොට්ඨාස 327ක පිහිටි දිවි නැගුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු 1,073කදී දවස පුරා උත්සව පැවැත්වේ.
     
    මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනුයේ ප්‍රතිලාභීත් විසින් ආරම්භ කිරීමට අපේක්ෂිත ජීවනෝපාය සංවර්ධන  ව්‍යාපෘතිවල ද්‍රව්‍ය මිලදී ගැනීම්, මූලික උපකරණ මිලදී ගැනීම් සහ ශ්‍රමය සඳහා වන ගෙවීම් වැනි කටයුතු සඳහාය. එමෙන්ම පාරිභෝගික අවශ්‍යතාවයන්, ණය මුදලක් පියවීම සහ හදිසි අවශ්‍යතාවන් සඳහා ද මෙම ණය ලබාදීමේ අපේක්ෂිත කාර්යයන් වේ. මෙය ක්‍රියාත්මක වනුයේ දිවි නැගුම ප්‍රජා මූල බැංකු සහ බැංකු සමිති මගින් දැනට ලබාදෙන ලබන ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම්වලට අමතර වශයෙනි.
     
    ගමේ මුදල් ගම තුළම ආයෝජනය කිරීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර ඇතැම් ජනතාව වැඩි පොලියට මූල්‍ය සංවිධාන සහ ආයතන මගින් අධික පොලී අනුපාත යටතේ ණය ලබාගෙන ණය බරින් මිරිකී සිටින බවත් ඔවුනට එම ණය බරින් මිදිමටද මෙම ණය ලබාගත හැකි බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
     
    දිවි නැගුම සහන අරුණ වැඩසටහන යටතේ ලබාදෙන අවම ණය මුදල රුපියල් 5,000ක් වන අතර උපරිම සීමාව රුපියල් 50,000කි. පාරිභෝගික අවශ්‍යතා සඳහා ලබාදීය හැකි මුදල රුපියල් 5,000කට සීමා වේ. අනිකුත් ණය වර්ග සඳහා රුපියල් 50,000ක උපරිමයක් දක්වා ණය ලබාදේ. පාරිභෝගික ණය සදහා වසරක සහන කාලයක් ලබාදෙන අතර ඉන් පසුව වාරික 24කින් ගෙවිය යුතුය. ජීවනෝපාය සංවර්ධන ණය සඳහා වසරක සහන කාලයක් ලබාදෙන අතර ඉන් පසුව සමාන වාරික වලින් අදාළ ණය මුදල ගෙවිය යුතු වේ. ප්‍රතිලාභීන්ට ණය ලබාදීමේදී වයස් සීමාවක් නොමැත.
     
    මේ අතර දිවි නැගුම ජාතික වැඩසටහනේ 6වන අදියර ඔක්තෝබර් 20දා පෙරවරු 10.07ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ වන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එමගින් ගෘහ ඒකක ලක්ෂ 25ක් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වේ. දිවි නැගුම ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර 2011 මාර්තු 12වැනිදා ආරම්භ වූ අතර පවුල් ලක්‍ෂ 50ක් අතර එම වැඩසටහන කෘෂි, පශු සම්පත්, ධීවර, ගෘහ ආර්ථික කර්මාන්ත වශයෙන් අංශ 4කින් දැනටමත් සාර්ථකව ක්‍රියාත්මක වේ.
     
    එකම කාර්යයක්  සඳහා කටයුතු කළ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන 05ක් එක්කරමින් දිවි නැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීමේ අරමුණ විය. එය 2013 ජනවාරි 08වැනිදා පනතට පක්ෂව වැඩි ඡන්ද 117ක් ලබා ගනිමින් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර 2014 ජනවාරි 03වැනිදා ගැසට් කරන ලදී. ඒ අනුව සමෘද්ධි අධිකාරියේ සේවකයින් 24,082ක් ඇතුළු ආයතන 05ක සේවකයින් 26,000කට ආසන්න පිරිසක් විශ්‍රාම වැටුප් මෙන්ම රාජ්‍ය සේවකයෙකු සතු සියලු වරප්‍රසාද සහිතව අන්තර්ග්‍රහණය කෙරිණි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya