මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව විශිෂ්ටත ම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහනට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ “නැණසලට” Featured

    අගෝස්තු 19, 2014
    2014 වසරේ ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහන ලෙස ශ්‍රී ලංකාවේ “නැණසල” ව්‍යාපෘතිය නම් කෙරේ.

    ග්‍රාමීය ජනතාව සහ වරප්‍රසාද අඩු පිරිස් නගාසිටුවීම සඳහා “නැණසල“ තුළින් සිදු කෙරෙන මෙහෙය අගය කරනු වස් මෙම සම්මානය පිරිනැමේ.
     
    ලෝකයේ රටවල් 110ක ව්‍යාපෘති 150ක් අතුරින් “නැණසල“ ව්‍යාපෘතිය ප්‍රථම ස්ථානය දිනා ගෙන මේ වසරේ අදාළ සම්මානයට හිමිකම් කීය. ඒ අනුව අන්තර්ජාතික බිල් ගේට්ස් “අධ්‍යන ප්‍රවේශ” (Access to Learning) සම්මානය සහ ඇමරිකානු ඩොලර් දශ ලක්ෂයක මුදල් ත්‍යාගයක් ශ්‍රී ලංකාවේ “නැණසල” ව්‍යාපෘතියට පිරිනමන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ඊයේ (18) නිවේදනය කළේය. මීට අමතරව තවත් ඇමරිකානු ඩොලර් දශ ලක්ෂයක් වටිනා මෘදුකාංග නොමිලයේ ශ්‍රී ලංකාවට පිරිනැමීම ද සිදු කෙරේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “නැණසල” ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ දිළිඳු ජනයාට තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපනය සඳහා පුළුල් ඉඩකඩක් ලබා දී ඇතැයි බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ අධ්‍යක්‍ෂිකා ඩෙබෝරා ජාකොබ්ස් මහත්මිය ප්‍රකාශ කළාය. රටේ තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාව 5% සිට 40% තෙක් වර්ධනය කිරීමට “නැණසල” ව්‍යාපෘතිය සක්‍රියව දායක වී ඇතැයි ඊයේ (18) ප්‍රංශයේ ලියෝන් නුවර පැවැති සම්මාන ප්‍රදානයේ දී ඇය පෙන්වා දුන්නාය. සම්මානය පිරිනැමීම ජාත්‍යන්තර පුස්තකාල විද්වතුන්ගේ සමුළුවේදී  සිදුකෙරිණ. 
    “නැණසල” මගින් පරිගණකයට හා අන්තර්ජාලයට පිවිසීමට දිළිඳු ජනයාට අවස්ථාව සැලසීම තුළින් සමබර සමාජ සංවර්ධනයක් ඇති කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා “මහින්ද චින්තන” ප්‍රතිපත්තිය තුළින් ක්‍රමෝපායිකව මැදිහත් වී තිබීම අගය කරන බව මයික්‍රෝසොෆ්ට් නිර්මාතෘ සහ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන බිල් ගේට්ස් මහතා ප්‍රකාශ කරයි. සම්මාන උළෙල සඳහා ඇමේරිකාවේ සියටැල් නුවර සිට සජීවී ව සුභ පැතුම් පණිවුඩයක් එක්කළ ඔහු වරප්‍රසාද අඩු ජනයා සඳහා තොරතුරු තාක්‍ෂණයට පහසුකම් සැපයීම “නැණසල“ තුළින් අඛණ්ඩව සිදුවනු දැකීම සිය ප්‍රාර්ථනය බව පැවසීය.

    “සෑම ජිවිතයකටම එක හා සමාන අගයක් ඇති බව” සිය දර්ශනය කර ගත් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම වාර්ෂිකව ලෝකයේ විශිෂ්ටත ම තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතිය තෝරා ගැනීම ස්වාධීනව සිදු කරයි.
     
    “නැණසල” නිර්මාතෘ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් සම්මානය නිල වශයෙන් භාර ගැනීම විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් සිදු කෙරිණි. “නැණසල” ව්‍යාපෘතිය මෙම කීර්තිමත් සම්මානය සඳහා තෝරා ගැනීම තුළින් මහින්ද චින්තන වැඩපිළිවෙළ අන්තර්ජාතික  විද්වතුන්ගේ ප්‍රසාදයට පත් ව ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වසර 2005 දී සියලු අභියෝග මැද ආරම්භ කළ “නැණසල” ව්‍යාපෘතිය මධ්‍යස්ථාන 790ක් පිහිටුවමින් දිවයිනේ සියලු ම ජනයාට සේවාවන් සපයන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සියලු ම ජයග්‍රහණ ලබා ගැනීමට ජනාධිපතිතුමා ලබා දෙන නායකත්වය අගය කළ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති, ජනාධිපති උපදේශක හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ මහතා මෙවැනි සම්මානයක් ශ්‍රී ලංකාවට පිරිනැමිම වෙනුවෙන් බිල් ගේට්ස් පදනමට සිය කෘතඥතාව පළ කළේය.

    ශ්‍රී ලංකාව ලබන ජයග්‍රහණ ඇතැම් පිරිස් අන්තර්ජාතිකව අවතක්සේරු කිරීමට උපක්‍රම සොයන පසුබිමක මෙවැනි කීර්තිමත් අන්තර්ජාතික ඇගැයීමක් ශ්‍රී ලංකාවට ලබා දීම ගැන මහාචාර්යවරයා තොරතුරු තාක්‍ෂණ විද්වතුන්ට හා සම්මාන උළෙලේ විනිශ්ච මණ්ඩලය ලෙස ක්‍රියා කළ විද්වතුන්ට ශ්‍රී ලංකාවේ ස්තූතිය පුද කළේය. 

    සම්මාන උළෙලේ දී  “නැණසල” වැඩසටහන පිළිබඳ ප්‍රධාන දේශනය කළ ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රෙෂාන් දේවපුර මහතා ජනතාව තොරතුරු තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීමට ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතුව ICTA ආයතනය අඛණ්ඩව කටයුතු කරන බව අවධාරණය කළේය.
     
    ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ උත්සහයට “නැණසල” දායක වී ඇති අන්දම විස්තර කළ හෙතෙම ආගමික සිද්ධස්ථාන තුළ බහුතරයක් “නැණසල“ මධ්‍යස්ථාන පිහිටුවීම තුළින් විනයගත තොරතුරු තාක්‍ෂණ ප්‍රවේශයක් ජනතාවට ලබා දීමේ ගෞරවය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට හිමි වන බව පෙන්වා දුන්නේය. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya