අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුණාත්මක තේ නිෂ්පාදනය කළ යුතුයි Featured

    අගෝස්තු 06, 2014


    ලෝක වෙළඳපොළ අභියෝග හමුවේ මෙරට තේ කර්මාන්තය ගුණාත්මක හා ප්‍රමාණාත්මක බවින් වර්ධනය කර නොගත හොත් ඉදිරියේදී මෙරට තේ වෙළඳපොළට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පැවසීය.

    මාතලේ බණ්ඩාරපොළ ප්‍රදේශයේ වසා දමා තිබුණු තේ කර්මාන්ත ශාලාවක් යළි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් එහි පැවැති උත්සව සභාවේදී අග්‍රාමාත්‍යතුමා මේ බව කීවේය. වසර තුනක් තිස්සේ වසා දමා තිබූ එම තේ කර්මාන්ත ශාලාව යළි විවෘත කොට මාතලේ ප්‍රදේශයෙන් නෙළා ගත් තේ දළු මගින් නිෂ්පාදන කටයුතු සිදු කොට තේ විදෙස්ගත කිරීම මෙම කර්මාන්තශාලාව මගින් සිදු කෙරේ.‍

    කර්මාන්ත ශාලාව විවෘත කොට නිල වශයෙන් එහි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව එහි පැවැති උත්සව සභාවේදී අග්‍රාමාත්‍යතුමා මෙසේ පැවසීය.අධිරාජ්‍යවාදීන් කන්ද උඩරට යටත් කර ගැනීමෙන් පසු දෙල්තොට ලූල්කඳුර වත්තේ සහ මුල් ඔය වත්තේ මුලින්ම තේ වගාව ආරම්භ කළා. ශ්‍රී ලංකාවේ තේ ගුණාත්මක බවින් ඉහළ බැවින් මෙරට තේ සඳහා ලෝක වෙළෙඳපළේ තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්. මේ නිසා ශ්‍රී ලංකාවට විශාල විදෙස් විනිමයක් මෙන්ම සැලකිය යුතු ඉහළ කීර්තිනාමයක් ද අත්වුණා. නමුත් වර්තමානයේදී ඇතැම් පිරිස් තේ නිෂ්පාදනය කරන්නේ ගුණාත්මක බවින් තොරවයි. තේ නිෂ්පාදනයේ දී ඉවත් කරන කසල තේ පවා අලෙවි කිරීමේ ජාවාරම් වර්තමානයේදී ක්‍රියාත්මක වෙනවා. උඩුනුවර හා අම්බලන්ගොඩ ප්‍රදේශවලින් මෙවැනි අයථා තේ නිෂ්පාදන පිළිබඳ වැටලීම් රැසක් සිදු කොට තිබෙනවා. එමෙන්ම නෙළා ගත යුතු තේ දළු වෙනුවට ඇතැම් පිරිස් දඬු සහිතව තේ නෙළීම සිදු කරනවා. ඒ නිසා ගුණාත්මක තේ නිෂ්පාදනයක් කරන්නට බැහැ.

    වර්තමානයේදී ඉන්දියාවේ තේ කර්මාන්තය ඔවුන් මනා ගුණාත්මක තත්ත්වයෙන් පවත්වා ගෙන යන බැවින් ශ්‍රී ලංකා තේ කර්මාන්තයට ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ දැඩිව තරග කිරීමට සිදුව තිබෙනවා. නමුත් ගුණාත්මක බවින් තොර නිෂ්පාදන නිසා අපට ආදායම් අහිමි වෙනවා සේම රටට විදෙස් විනිමය හිමිවන මාර්ගයන් ද අහිමි වෙනවා. කෘෂිකාර්මික රටක් වශයෙන් සෙසු භෝග මෙන් ම තේ කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා වත්මන් රජය වැඩසටහන් රැසක් දියත් කරමින් තිබෙනවා. මම වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී තේ කර්මාන්තය වෙනුවෙන් කුඩා වැවිලි සංවර්ධන ව්‍යාපෘතිය සහ ඊට සම්බන්ධ ආයතන පිහිටුවීමට කටයුතු කළා. ඒ ආයතනය මගින් තේ නිෂ්පාදකයන් සම්බන්ධීකරණය කිරීමට මෙන් ම තේ කර්මාන්තය දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ද සකස් කෙරුණා.

    එ.ජා.ප. ලග්ගල ආසන සංවිධායක රෝහණ බණ්ඩාරනායක, ග්‍රීන් ෆීල්ඩ් තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සේමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya