අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය නිරායුධකරණ න්‍යාය පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සහාය ලබා දෙන බවට ශ්‍රී ලංකාව සහතික වෙයි

    ඔක්තෝබර් 15, 2019

    විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, ගෝලීය නිරායුධකරණ න්‍යාය පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික සහාය නිව්යෝර්ක්, ජිනීවා සහ වියානාහි දූතමණ්ඩල මඟින් ලබා දෙන බවට නිරායුධකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ උසස් නියෝජිත ඉසුමි නකාමිට්සු මැතිනියට සහතික විය.

    නිව්යෝර්ක් නුවර දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන විදේශ ලේකම්වරයා, ඊට සමගාමීව 2019 ඔක්තෝබර් 7 වැනි දින එක්සත් ජාතීන්ගේ උසස් නියෝජිතවරිය හමුවූ අවස්ථාවේ දී මෙසේ සහතික විය. එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ක්ෂෙනූකා සෙනෙවිරත්න මැතිනිය සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සත්‍යා රොද්‍රිගෝ මහතා ද මෙහි දී විදේශ ලේකම්වරයා සමඟ එක් වූහ.

    ශ්‍රී ලංකාව නිරායුධකරණය පිළිබඳ සමුළුවේ (CD) සභාපතිත්වය ධුරය දැරූ 2018 ජනවාරි/පෙබරවාරි කාලසීමාවේ දී ලබාගත් අත්දැකීම් පිළිබඳව ආර්යසිංහ මහතා සිහිපත් කළේය. එහි දී නිරායුධකරණය පිළිබඳ සමුළුවේ CD/2119 තීරණය හරහා ඉදිරි ගමනක් අත්කර ගැනීමට හැකි වූ අතර, එහි දී නිරායුධකරණය පිළිබඳ සමුළුවේ න්‍යාය පත්‍රයේ ඇති සියලුම කරුණු පිළිබඳ සැලකිය යුතු වැඩකටයුතු කොටසක් ආරම්භ කිරීම සඳහා අනුබද්ධ ආයතන 5 ක් පිහිටුවීමට එකඟ වීම පිණිස සමුළුවේ සියලු සාමාජිකයෝ එක්රැස් වූහ. ශ්‍රී ලංකාව, 2015 නොවැම්බර් මාසයේ දී ඇතැම් සාම්ප්‍රදායික ආයුධ පිළිබඳ සම්මුතීන් (CCW) සඳහා ඉහළ මට්ටමේ ගිවිසුම්කාර පාර්ශ්ව සමඟ පැවති රැස්වීමේ මුලසුන දැරූ අතර, එමඟින් මාරාන්තික ස්වයංපාලන අවි පද්ධති පිළිබඳ රාජ්‍ය මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මුලපිරූ බවත්, 2019 සැප්තැම්බර් මාසයේ දී මුලසුන දැරූ පොකුරු ආයුධ පිළිබඳ සම්මුතියේ (CCM) රාජ්‍ය පාර්ශ්වයන් අතර රැස්වීම මඟින් 2020 දී පැවැත්වීමට නියමිත දෙවැනි සමාලෝචන සමුළුවට අවශ්‍ය ජවය ලබා දුන් බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ අත්දැකීම වූයේ, නම්‍යශීලීභාවය සහ ආරක්‍ෂාව අතර නිවැරදි සමබරතාවය ලබා දීම මඟින් විවිධ පාර්ශ්වයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනඟා ගන්නා, ඔවුන්ගේ ගැටලු කෙරෙහි සංවේදී වන ඉදිරි දැක්ම පිළිබඳ සංවාදයකට එකඟ වීමට සාමාජික රටවල් කැමැත්තෙන් සිටින බවයි.

    පසුගිය වසරේ දී නිරායුධකරණය පිළිබඳ සමුළුවේ සභාපතිත්වය හොබවන විට, සම්මුතිවාදී තීන්දුවක් ලබා දීම සම්බන්ධයෙන් විදේශ ලේකම් ආර්යසිංහ මහතා විසින් ඉටු කරන ලද කාර්යභාරය උසස් නියෝජිත නකාමිට්සු මැතිනිය අගය කළ අතර, නිරායුධකරණය පිළිබඳ සමුළුවේ නායකත්ව කාර්යභාරය සහ නිරායුධකරණයට අදාළ අනෙකුත් මුලපිරීම් පිළිබඳව ශ්‍රී ලංකාවට ස්තූතිය පුද කළාය. ඇය නිව්යෝර්ක් හි පැවැත්වෙන 1 වැනි කමිටුව, ජිනීවා හි නිරායුධකරණය පිළිබඳ සමුළුවේ ඊළඟ සැසිවාරය හා එළඹෙන න්‍යෂ්ටික අවි ගුණනය නොකිරීමේ ගිවිසුම පිළිබඳ සමාලෝචන සමුළුව හමුවේ පවතින ක්ෂණික අභියෝග පිළිබඳව ද නියෝජිත පිරිස සමඟ සාකච්ඡා කළාය.

    ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම, 2019 ඔක්තෝබර් 11 වැනි දින, නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ  1 වැනි කමිටුව ඉදිරියේ දී න්‍යෂ්ටික අවි ගුණනය නොකිරීම සහ මුලිනුපුටා දැමීම, අභ්‍යවකාශයේ අවි තරඟය වැළැක්වීම, සෘණ ආරක්ෂණ සහතික කිරීම්, නීති විරෝධී කුඩා අවි හා සැහැල්ලු අවි වෙළඳාම මැඩපැවැත්වීම සහ මානුෂීය නිරායුධකරණය සඳහා ඒකාබද්ධ සාමූහික ක්‍රියාමාර්ගයක ඇති අවශ්‍යතාවය සවිස්තරාත්මක ප්‍රකාශයක් මඟින් අවධාරණය කළහ.

    ශ්‍රී ලංකාව, කිසිදු මානව පාලනයකින් තොර මාරාන්තික ස්වයංපාලන පද්ධති (LAWS) සංවර්ධනය මානව වර්ගයා හට පෙර නොවූ විරූ අවදානම් සහ අභියෝගයන් ඇති කර ඇති බවට කනස්සල්ල පළ කළ අතර, තාවකාලික නියාමන පියවරක් ලෙස ජාතික මට්ටමේ තහනමක් පැනවීම සඳහා ක්ෂණික පියවර ගැනීමට සහ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය විශේෂඥ කණ්ඩායම් සාකච්ඡා තුළ දී පූර්ණ වශයෙන් එක්ව කටයුතු කිරීම සඳහා ස්වයංපාලන අවි නිපදවීමට හැකියාවන් ඇති රාජ්‍යයන් දිරිමත් කළාය. කෙසේ වෙතත්, වෙනත් කරුණු අතර,  එහි කේන්ද්‍රීය ගාමක බලය ලෙස අර්ථවත් මානව පාලනයක් සහිත නියාමන සම්මතයන් සඳහා සපයන බැඳීම් සහිත නීතිමය රාමුවක් පිළිබඳව සාකච්ඡා කරන ලෙස ද ශ්‍රී ලංකාව ඉල්ලා සිටියාය.

    නිරායුධකරණය සඳහා වූ එකම බහුපාර්ශ්වික සාකච්ඡා ආයතනය ලෙස, නිරායුධකරණය පිළිබඳ සමුළුවේ ඇති වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකාව යළි තහවුරු කළාය. දිගින් දිගටම බලපෑමට ලක්වෙමින් පවතින ජාත්‍යන්තර හා කලාපීය උපායමාර්ගික පසුබිමක් තුළ, නිරායුධකරණය පිළිබඳ සමුළුව විසින් නිරායුධකරණය පිළිබඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කිරීම තුළින් මෙම අභියෝගයන්ට මුහුණ දීමේ වැදගත් කාර්යයට අවතීර්ණ වීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා තදින් පවතින බව අවධාරණය කරන බව ශ්‍රී ලංකාව පැවසුවාය.

    ශ්‍රී ලංකාව නිරායුධකරණය පිළිබඳ සමුළුවේ සභාපති ධුරය දැරූ සමයේ දී, CD/2119 තීරණයට එළඹීමේ ප්‍රතිඵලය අත්කර දෙමින්, එකඟතාවයකට පැමිණිය හැකිවීමේ වටිනාකම දුටු බව ශ්‍රී ලංකාව පැවසූ අතර, පවතින හිඩැස් පියවා ගැනීමටත්, නිරායුධකරණය පිළිබඳ සම්මේලනයට සිය වරම සපුරාලීම සඳහා සමීප කරවීමටත් එය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසුවාය.

    නිරායුධකරණය පිළිබඳ සමුළුවේ 2020 සැසිවාරය, G21 හි සහෝදර සාමාජික ඇල්ජීරියාවේ සභාපතිත්වය යටතේ ආරම්භ කරන අතර, එහි සභාපතිත්වය යටතේ ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා නිරායුධකරණය පිළිබඳ සමුළුව අවසන් වරට එකඟ වී ඇත්තේ මීට වසර 10 කට පෙරය. මෙම අවහිරතාව බිඳ දමා, තීරණාත්මක කරුණු පිළිබඳ වැදගත් සාකච්ඡා පැවැත්වීම සඳහා ඉදිරියට යාම පිණිස වැදගත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාසය පළකළාය. නිරායුධකරණය පිළිබඳ සමුළුව එසේ කිරීම තුළින්, 2020 මැද භාගයේ දී පැවැත්වෙන න්‍යෂ්ටික අවි ගුණනය නොකිරීමේ ගිවිසුම පිළිබඳ සමාලෝචන සමුළුවට ධනාත්මක සංඥාවක් ලබාදෙනු ඇති අතර, එය සාර්ථක වීමට නම්, දේශපාලනික අභිප්‍රායන් ඒකරාශී වීම තුළින් එයට නිවැරදි සංඥාවක් ලැබිය යුතු බව ද අවධාරණය කරන ලදී.

     

    වි‍දේශ කටයුතු අමාත්‍යාංශය

    කොළඹ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya