අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු - විදුහල්පති සේවයේ වැටුප් විෂමතා ගැටලු විසඳීමට නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කර අවසන්... Featured

    සැප්තැම්බර් 26, 2019

    ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුලු රජයේ සියලුම සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත්කිරීමේ කමිටු නිර්දේශ ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට  ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටින අවස්ථාවේ දී  සිය වැටුප් විෂමතා මුල් කරගෙන ගුරු හා විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

    වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට සේවකයන් හට තිබෙන අයිතියට අභියෝග නොකරන නමුත් ඉදිරියේ දී සිදුවන වැටුප් වැඩිවීම් ගැන ඉඟියෙන් හෝ දැන ගැනීමෙන් පසු එය සිය ක්‍රියාමාර්ග නිසා ලද ජයග්‍රහණයක් බව පෙන්වා සාමාජිකයින් රැවටීමේ ක්‍රමවේදයක් ලෙස භාවිත කරන මේ වෘත්තිය සමිතිවල අවස්ථාවාදී ක්‍රියාවලට රැවටීම ගුරු විදුහල්පති වැනි බුද්ධිමත් ගෞරවනීය වෘත්තිකයනට තරම් නොවන ක්‍රියාවක් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

    2015 වර්ෂයට සාපේක්ෂව ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විශාල වශයෙන් වැඩි කරන ලද අතර එය ප්‍රතිශතයක් ලෙස 106% කින් ඉහළ නැංවූ බවත්, ඒ ආකාරයට වැටුප් වැඩි කරන ලද වෙනත් කවර හෝ රජයක් නොවූ බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී ඉකුත් ජූලි මාසයේ දී ප්‍රකාශ කරනු ලැබීය.

    රාජ්‍ය සේවය තුළ පොදුවේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් පත් කරන ලද රනුග්ගේ කමිටුවට ගුරු - විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ හා යෝජනා ද යොමු කර ඇති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පසුගිය ජූලි මස 07 වැනිදා ප්‍රකාශ කර තිබිණි.

              විදුහල්පති දීමනාව රු.650/- සිට 6,500/- දක්වා වැඩි කර තිබේ. 2015 සිට ප්‍රමාද වී තිබූ උසස්වීම් කටයුතු මේ දක්වා විධිමත් කර ඇත. විශ්‍රාම ගැනීමේ කටයුතු නියමිත දිනටම සිදුවන ආකාරයේ ක්‍රමවේදයක් සකසා ක්‍රියාත්මක කරයි. විදුහල්පති සේවය දේශපාලනයෙන් මුදා ගෙන එම සේවයේ පැවැති ශ්‍රේණිධාරී විදුහල්පති හිඟයට විසඳුම් ලෙස තරඟ විභාග පවත්වා සුදුස්සන් 6,000 ක් පමණ බඳවා ගැනීම, ගුරු සහ විදුහල්පතිවරුන්ට දෙස් විදෙස් පුහුණු අවස්ථා ලබාදීම, ගුරු සේවයට 25,000 ක ප්‍රමාණයක් බඳවා ගැනීම ආදී ක්‍රියාමාර්ග පසුගිය වසර හතර හමාරක් වැනි කෙටි කාලයක දී ඉටු කරන ලද්දේ අධ්‍යාපනයේ මානව සම්පත සංවර්ධනය කිරිමේ අරමුණෙනි.

    සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා “කබරගොයා තලගොයා” කර ගන්නා ආකාරයට ක්‍රියා කරන බොහෝ වෘත්තිය සමිති මෙන් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති ද කටයුතු කරමින් අනාගත දරු පරපුරට ඉගෙනීමට තිබූ දින දෙකක නිල කාලය ලෙඩ නිවාඩු සඳහා උදුරා ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශය කණගාටුවෙන් හෙළා දකී.

    සිය වෘත්තියට ම අදාළව පෞද්ගලික සේවාවන් හි නිරතවීම පවා නතර කොට ඇතැම් වෘත්තිකයෝ වැඩ වර්ජන ආදි වෘත්තිය ක්‍රියාමාර්ගවල නියැලෙන අවස්ථා දක්නට ලැබේ. එහෙත් ගුරු විදුහල්පති වැඩ වර්ජනයේ දී  එවැන්නක්  දක්නට නොමැත. අයිතිවාසිකම් දිනා ගැනීමට වඩා පෞද්ගලික ලාභ ප්‍රයෝජන මුල් කරගෙන සිදු කරන මෙවැනි වැඩ වර්ජනවලින් උතුම් ගුරු වෘත්තිය හෑල්ලුවට ලක්වන අතර තමන්ගේ දරුවන්ට පවා වැරදි පූර්වාදර්ශ  සපයමින් ඔවුන්ට ද අනාගතයේ මෙවැනිම පදනම් විරහිත කටයුතුවලට පෙරහුරුවක් ලබාදීමේ වැඩපිළිවෙලක් වශයෙන් ගුරු - විදුහල්පති වර්ජනය හඳුන්වාදීමට පිළිවන.

    ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කර සිය සේවාව රජයේ පාසල් හි දරුවන්ට ලබා නොදුන් ආකාරයෙන් ම පෞද්ගලික ටියුෂන් වලින් ද ඔවුන් ඉවත්වී සිටින්නේ ද යන්න තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.  

    පාස්කු දින  ප්‍රහාරය, අයහපත් කාළගුණ තත්ත්වය වැනි හේතු නිසා දින ගණන් පාසල් වසා තැබීමට සිදුවීමෙන් මේ වසරේ අධ්‍යාපන දින ගණනාවක් දරුවන් ට අහිමි වී තිබේ. එවැනි  තත්ත්වයක් තුළ විෂය නිර්දේශ ආවරණයට කඩිනමින් ක්‍රියා කිරිමට තිබෙන ඉතිරි දින කිහිපයේ ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණීම සදාචාර විරෝධී කුහක ක්‍රියාමාර්ගයක් බව ද කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදු වී ඇත.

    මැතිවරණ සමයක් උදා වී තිබෙන බැවින්, විවිධ දේශපාලන ඕනෑ එපාකම් මත ක්‍රියාකරන වෘත්තිය සමිති නායකයන්ගේ අවස්ථාවාදයට සහයෝගය නොදී අනාගත පරපුරට නිසි මග පෙන්වීම උතුම් ගුරු - විදුහල්පති වෘත්තිකයකුගේ වගකීම බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya