මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයිස්ක‍්‍රීම්වල ඩී.සී.ඩී. අන්තර්ගතවීම: ආහාර උපදේශක කමිටුව හෙට රැස් වේ

    ජූලි 30, 2014
    පසුගිය දිනවල මෙරට දන්සැල්වල ඩී.සී.ඩී. අඩංගු අයිස්ක‍්‍රීම් බෙදා දී ඇති බවට කාර්මික තාක්ෂණික ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණ වාර්තාව තමන්ට ලැබුණ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. 


    DCD – Dicyandiamide නමැති විෂ රසායනිකය අඩංගු අයිස්ක‍්‍රීම් වෙළෙඳපොළෙහි අලෙවි කර ඇති බවට මෙම වාර්තාව අනුව තොරතුරු ලැබී ඇතැයි ද ඒ මහතා අවධාරණය කළේය.

     

    මේ සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුවේ හදිසි රැස්වීමක් හෙට (31) පැවැත්වීමට නියමිතය.

     

    ඩී.සී.ඩී. අන්තර්ගත අයිස්ක‍්‍රීම් නිපදවන ලද්දේ කවර සමාගම්ද, ඒ සඳහා යොදා ගන්නා ලද කිරි මිලදී ගත්තේ කුමන ආයතනයකින්ද සහ ඒවා අලෙවි කරන ලද වෙළෙඳසැල් මොනවාද යන්න පිළිබඳව වාර්තාවක් සකස් කිරීමට ද නියමිතය. එම වාර්තාව කාර්මික තාක්ෂණික ආයතනයද සමඟ එක්ව සකස් කරන ලෙස මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.


    මෙහිදී ඩී.සී.ඩී. පිළිබඳව මෙන්ම ආනයනික ආහාරවල මිනිස් සිරුරට අහිතකර වෙනත් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගුවී තිබේද යන්න පිළිබඳව සොයා බැලීමට කටයුතු යෙදීමටත්, ඒ සම්බන්ධයෙන් මහජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹීමටත් නියමිතය.

     

    1980 අංක 26 දරන ආහාර පනතට අනුව මිනිස් සිරුරට අහිතකර කිසිදු විෂ රසායනික ද්‍රව්‍යයක් ආහාරපානවලට හිතා මතා හෝ වෙනත් අයුරකින් ඇතුළත් කළ නොහැක. කිසියම් ආයතනයක් හිතා මතා හෝ වෙනත් අයුරකින් විෂ රසායනික ද්‍රව්‍ය ආහාරපානවලට අන්තර්ගත කරන්නේ නම් එය බරපතළ වරදකි. එවැනි පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව ආහාර පනත යටතේ දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් පැවසීය.

    NDH/DM_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya