අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය රකින නීති ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවීමට සියලු අංශ කැපවිය යුතු බව ජනපති අවධාරණය කරයි Featured

    ජූනි 07, 2019

    පරිසරය රකින නීති සහ පරිසරය වෙනුවෙන් ගෙන ඇති ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසි ලෙස කි‍්‍රයාවට නැංවීමට කැපවීම, රට ගොඩනැඟීමට සැබෑ වුවමනාවක් ඇති සහ රටේත් ජනතාවගේත් යහපත ප‍්‍රාර්ථනා කරන සියලු දේශපාලනඥයන්ගේ මෙන් ම නිලධාරින්ගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ දී (06) පෙරවරුවේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.

    ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමී ව ,තිරසර වන කළමනාකරණය තුළින් වායු දූෂණය අවම කිරීම, යන තේමාව යටතේ සැමරුම් උලෙළ සංවිධානය කර තිබිණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට ලෝකය මුහුණ දී ඇති පාරිසරික අභියෝග හමුවේ පරිසරය රැක ගැනීමට සියලුදෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි.

    පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් නීති රැසක් පරිසර අමාත්‍යවරයා ලෙස තමා හඳුන්වා දී තිබෙන අතර ඒවා කි‍්‍රයාවට නැංවීමේ ප‍්‍රගතිය පිළිබඳ සතුටට පත්විය නොහැකි බව පැවසු ජනාධිපතිතුමා පොලිතින් තහනම ඇතුළුව පරිසරය වෙනුවෙන් ගත් එම තීන්දු තීරණ වඩා ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවීමට කැපවීම රටේ මතු පරපුර වෙනුවෙන් සියලුදෙනා ඉටුකරන වගකීමක් බව ද කියා සිටියේය.

    මේ අතර ගස් කපන යන්ත‍්‍ර හෙවත් චේන්ෂෝ මෙරටට ගෙන්වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තමා මේ වන විට උපදෙස් දී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා වඩු මඩු අලුතින් ලියපාදිංචිය නතර කිරීමටත්, ලී මෝල් හිමියන් වෙනත් ව්‍යාපාර අංශ කෙරෙහි යොමු කීරමේ වැඩපිළිවෙළකට එළැඹීමටත් උපදෙස් දී තිබෙන බව ද කියා සිටියේය.

    මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගනිමින් ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට නම් එවන් වැඩපිළිවෙළක් අවම වශයෙන් වසර 10ක් ගතවන තුරුවත් රට තුළ කි‍්‍රයාවට නැංවිය යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    එමෙන් ම ජගත් පරිසර දින සැමරුම් උත්සවයේ දී ජනාධිපතිතුමා සියලු පරිසර විද්‍යාඥයන්ට, ආචාර්ය මහාචාර්යවරුන්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් මෙන්ම රාජ්‍ය නිලධාරින්ට ආරාධනා කළේ පරිසර විෂය කෙරෙහි තම ලබා ඇති දැනුම, අත්දැකීම් මෙන්ම ජාත්‍යන්තර සමුළුවල දී ලබා ගන්නා දැනුම ප‍්‍රායෝගිකව රට වෙනුවෙන් භාවිතා කිරීමේ වගකීම මීට වඩා පුළුල් ලෙස ඉටුකිරීමට එක්වන ලෙසයි.

    ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. වායු තත්ත්ව මැනීමේ ජංගම රථය ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    පරිසර ප‍්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව ජගත් පරිසර දින සැමරුම් උත්සවය ආරම්භ කෙරිණි. වායු හා ජල තත්ත්ව මිනුම් ඒකක පිළිබඳ වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    වාහන වායු විමෝචන අරමුදල විසින් ලබා දෙනු ලබන වායු මැනුම් ඒකකය ජනාධිපතිතුමා අතින් නිල වශයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීම සිදු කෙරිණි

    තිරසර පැවැත්ම උදෙසා වායු දූෂණය පාලනය හා නියාමනය පිළිබඳ අත්පොත සහ සොබාකෙත සඟරාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු විය.

    2019 ජගත් පරිසර දිනයට සමගාමීව ගරු ජනාධිපතිතුමා විසින් අත්සන් තබන ලද වායු විමෝචන පාලන ගැසට් පත‍්‍රය එළිදැක්වීම ද සිදු කෙරුණු අතර මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගැසට් පත‍්‍රය ජනාධිපතිතුමා වෙත පිලිගැන්වීය.

    පුත්තලම දිස්ති‍්‍රක්කයේ මුන්දලම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 27ක පමණ ප‍්‍රදේශයක් පුරා පැතිර ඇති සැන්ඩිකාඩු වැලි කඳුවැටිය, බලපෑමට ලක්වන ප‍්‍රදේශයක් ලෙස සංරක්ෂණ කිරීමට අදාල ගැසට් පත‍්‍රය එළිදැක්වීම ද සිදු කෙරිණි.

    එමෙන් ම වනරෝපා ජාතික උත්සවයට සමගාමීව රාජ්‍ය ආයතන 14ක පැළ තවාන් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 21.3 ක ප‍්‍රතිපාදන ලබාදීමේ පොරොන්දු පත‍්‍රය ජනාධිපතිතුමා අතින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පිළිගැන්විණි.

    පුනරුදය ජාතික පරිසර වැඩසටහන මඟින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලබා දෙනු ලබන මුල්‍යමය ප‍්‍රතිපාදන මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂජනරාල්වරයා වත භාරදීම ද සිදු විය.

    පරිසර හිතකාමී නිමවුමක් සිදු කළ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ තරුෂි රාජපක්ෂ ශිෂ්‍යාව ඇගැයීමට ලක් කරමින් ඇයගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 15ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරිම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන තරුෂි විදුෂිකා රාජපක්ෂ ශිෂ්‍යාව කුඩා කල සිට නව නිර්මාණ රැසක් රටට දායාද කළ අතර, ලන්ච් ෂීට් වෙනුවට යොදාගත හැකි පරිසර හිතකාමී බෑගයක් ද නිර්මාණය කළාය.

    රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද විදවතුන්, පරිසරවේදීන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු සම්භාවනිය ආරාධිත පිරිසක් උත්සවයට එක්ව සිටියහ.

    මේ අතර ජගත් පරිසර දිනය නිමිත්තෙන් මැයි 30 සිට ජූනි 05 දක්වා වන සතිය ජාතික පරිසර සතිය ලෙස ප‍්‍රකාශයට පත් කරමින් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

    මැයි 30 වනදා පරිසරය පවිත‍්‍ර කිරිමේ හා පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙසත්. මැයි 31 වනදා වායු දූෂණය හා අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත්, ජූනි 01 වනදා රුක් රෝපණ දිනය ලෙසත්, ජූනි 02 වනදා ජලය හා ජල මූලාශ‍්‍ර සංරක්ෂණ දිනය ලෙසත්, ජූනි 03 වන දින ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙසත්, ජූනි 04 වන දින තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙසත් ප‍්‍රකාශයට පත් කරමින් එම වැඩසටහන් කි‍්‍රයාත්මක විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya