අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදය ලොවෙන් අතුගා දැමීමට සියලු රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනපති ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කරයි Featured

    මැයි 16, 2019

    ආගමික අන්තවාදයෙන් බිහිවන අන්තවාදී ත්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලු රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ  (15) පෙරවරුවේ චීනයේ බීජිං නුවර දී ආරම්භ කෙරුණු “ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව” අමතමිනි.

    ප්‍රථම වරට සංවිධානය කෙරුණු මෙම සමුළුව චීන ජනාධිපති ෂි ජින්පින් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බීජිං නුවර දී ආරම්භ කෙරුණු අතර එහි විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.

    රටවල් 47ක රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් දෙදහසකට වැඩි පිරිසක් සමුළුවට එක් ව සිටින අතර ගෝලීය අභියෝග රැසකට මුහුණ දෙන මානව සංහතියේ පැවැත්ම උදෙසා ලෝක ජනතාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවය සුරැකීමේ අරමුණ ඇතිව ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සහ දැනුවත් කිරීම මෙම සමුළුවේ දී සිදු කෙරේ. සමුළුව මැයි 22 වනදා දක්වා බීජිං නුවර දී පැවැත් වේ.

    සමුළුව ඇමතූ ජනාධිපතිතුමා යෝජනා කර සිටියේ ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳ කතා කරන මෙම සමුළුවෙන් නැගෙන හඬ සහ චීන ජනාධිපති ෂි ජින්පින් මැතිතුමාගේ නායකත්වයෙන් යුතුව මිත්‍රශීලී සංවිධානයක් ලෙස ඇතිවන එකමුතුව සහ එකඟතාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයත්, ආගමික අන්තවාදී ත්‍රස්තවාදයත් පරාජය කිරීම සඳහා ශක්තියක් බවට පත්කරගත යුතු බවයි.

    ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් යටපත් කළ නොහැකි අතර, ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය නීතියකින්, ව්‍යවස්ථාවකින් හෝ ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කර තැබිය නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟී ඇත්තේ වසර 2600කට වැඩි බෞද්ධ ශිෂ්ටාචාරයකට අනන්‍ය වූ පදනමක් මත වන අතර, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ බර්ගර් යන ජන කොටස් එහි ජීවත්වන අතරම ඔවුන් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම්වලට අයත්වන බවයි.

    කිසිදු රටකට, කිසිදු ජාතියකට හෝ කිසිදු ශිෂ්ටාචාරයකට මෙන්ම සංස්කෘතියකට තර්ජනයක් නොවන ලෙස නිදහසේ සහ සාමකාමීව කටයුතු කරන රටක් ලෙස ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයට සහ සංස්කෘතියට නොපෙනෙන බලවේගවලින් එල්ලවන අභියෝගවල දි සෑමවිටම සියලුදෙනා එකාවන්ව අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    එබැවින් තමන්ට අනන්‍ය වූ ශිෂ්ටාචාරය සහ සංස්කෘතික වැදගත්කම් සමග එකම ජාතියක් ලෙස සියලු මිත්‍රශීලී රටවල් අතර බැඳීම් ශක්තිමත් කර ගැනීමේ පුළුල් ජාත්‍යන්තර වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බවත්, චීනය වැනි විශිෂ්ට ශිෂ්ටාචාරයක් තිබෙන රටක් මෙවැනි සමුළුවක් පැවැත්වීම තුළින් ඒ සඳහා තබන ලද පියවර දැඩිව අගය කළ යුත්තක් බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම සංවාදය සඳහා ශ්‍රී ලංකාවට ද අවස්ථාවක් ලබාදීම පිළිබඳ චීන ජනාධිපති ෂි ජින්පින් මැතිතුමා ඇතුළු චීන රජය වෙත සිය ගෞරවනීය ස්තූතිය පුද කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya