අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත‍්‍රස්තවාදය ලෝකයේ කිසිම තැනක ජයග‍්‍රහණය කරලා නැහැ- ජනපති අම්පාර සයින්දමර්දු හීදී කියයි Featured

    මැයි 08, 2019

    අපි ජාතික සමගිය සහ සංහිඳීයාව ශක්තිමක් කළ යුතුයි.ත‍්‍රස්තවාදය ලෝකයේ කිසිම තැනක ජයග‍්‍රහණය කරලා නැහැ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

     

    අම්පාර සයින්දමර්දු ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හමුවේ දී ගරු ජනාධිපතිතුමා කළ කතාව2019-05-08

    කරුණු දෙකක් මුල් කරගෙනයි අද මම මේ ප‍්‍රදේශයට පැමිණියේ. අපේ‍්‍රල් 21 දා කොළඹ සිදුවීමත් 26 වෙනිදා මේ ප‍්‍රදේශයේ ඇතිවූ සිදුවීමත් සමග මේ රටේ සාමාන්‍ය ජනතාව තුළ බයක් සැකයක් සහ අවිශ්වාසය සමග හිත්වල කඩාවැටීමක් ඇති වුණා. අපේ රට නැවත එල්ටීටීඊ යුද්ධය කාලේ වගේ විශාල විනාශයකට යන්න හදනවාද කියලා. නමුත් සති දෙකක කාලයක් තුළ ආරක්ෂක අංශවල දක්ෂතාවය, මේ වන විට ජනතාව සැනසුම් සහගත හොඳ මානසික තත්ත්වයකට පැමිණ තියෙනවා. මෙැවනි කෙටි කාලයක් තුළ ත‍්‍රස්තවාදීන් අල්ලාගෙන පුපුරණ ද්‍රව්‍ය, දේපළ, වත්කම් විශාල ප‍්‍රමාණයක් මේ වනවිට සොයා ගැනීම පහසු නැහැ. අපහසු අභියෝගාත්මක දෙයක්. ආරක්ෂක අංශ විසින් එසේ කර තිබෙන්නේ තම ජීවිත පරිත්‍යාගයෙන්. ඒ නිසා මේ වනවිට ජන ජීවිතය සාමකාමී කරලා, ත‍්‍රස්තවාදීන් දුර්වල කරලා රට සාමාන්‍ය තතත්වයට පත්කිරීම පිළිබඳ ත‍්‍රිවිධ හමුදාවට, පොලීසියට, බුද්ධි අංශවලට, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට, සහය දුන් නිලධාරීන් සියලු දෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. මේ ප‍්‍රදේශයට එන්න අද ලැබුණේ මේ ප‍්‍රදේශය සාමකාමී කළ නිසයි. නිදහස් ප‍්‍රදේශයක් බවට පත් කළ නිසයි. මේ ප‍්‍රදේශයේ බෝම්බ පිපිරවීම් වැනි දේ සිදු වුණා නම් මට අද මේ ප‍්‍රදේශයට එන්න බැරි වෙනවා. මම එන්න සූදානම් වුණත් ආරක්ෂක ප‍්‍රධානීන් කියනවා මට යන්න හොඳ නැහැ තත්ත්වය හොඳ නැහැ කියලා. නමුත් තත්ත්වය හොද නිසා තමයි වටපිටාව හදලා ඔබලා මේ ස්ථානයට එකතු වුණේ.

    දෙවැනි කාරණය නම් ආරක්ෂක අංශ රට සාමකාමී තත්ත්වයට ගෙන එනවා වගේම රජයේ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ට තිබෙන වගකීමක් තමයි ආරක්ෂක අංශ සමග සමීපව කටයුතු කිරිම. රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් කියන්නේ ආරක්ෂක අංශ සහ සාමාන්‍ය ජනතාව අතර මැද සිටින පිරිසයි. මේ දෙක සම්බන්ධීකරණ පිරිස තමයි රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්. ඒ වගේම මහජන නියෝජිතයන්, මන්ත‍්‍රීවරු, විදුහල්පතිවරු, මැති ඇමතිවරු, සභාපතිවරු ආදීන්. මේ මැද ඉන්න පිරිසත් ආරක්ෂක අංශ ප‍්‍රධානීනුත් මම කැදෙව්වේ මේ සති දෙකේ තිබෙන සාර්ථකත්වය තව දුරටත් සාර්ථක කරගෙන මේ රටේ ජනතාවට ස්ථීරසාර සාමයක් ඇති කරගෙන ත‍්‍රස්තවාදය අවසන් කියන තැනට මේ රට ගෙන එමින් අපිට එකට කටයුතු කරන්න ඕනෑ නිසයි.

    ලෝකයේ ප‍්‍රබල රටවල්වලට මේ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය පහර දුන්නා. ඇමරිකාව, රුසියාව, යුරෝපය, එංගලන්තය, මැලේසියා, ඔස්ෙටි‍්‍රලියා, කැනඩාව, ඉන්දුනීසියාව, ඉන්දියාව ආදී රටවල් සියල්ලට ඔවුන් පහර දුන්නා. ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හේතුවෙන් ජනතාවගේ ඇති වන බිය, සැකය, අවිශ්වාසය ලෝකයේ සෑම රටකටම ඇති වුණා. ඒක සාමාන්‍ය මිනිසෙකුට ඇතිවන හැඟීම්. අපිට පසුගිය වසර 30ක යුද්ධයේ අත්දැකීම් තිබෙනවා. මට පෙර ජනාධිපතිවරු පහක් හිටියා. මම මේ බව ඊයේ පාර්ලිමේන්තුවේ දීත් කිව්වා. ඒ පස් දෙනාගේම කාලේ බෝම්බ පිපිරුවා. මේක මගේ කාලේ ලංකාවේ පළමු වතාවට වූ දෙයක් නෙවෙයි. වසර 30ක කාලයක් මේ රටේ පැවති යුද්ධය නිසා ජනතාව තුවක්කුව වෙඩි උණ්ඩය, බෝම්බ එක්ක ජීවත් වුණා. ඒ වසර 30 ඒ විදියටයි ගතවුණේ. ඒ වගේම විවිධ ස්වාභාවික ප‍්‍රශ්නවලට අපි මුහුණ දීලා තියෙනවා යුද්ධය වගේම. සුනාමිය නිසා නැගෙනහිර පළාතට විශාල හානියක් වුණා 2004 දී. ඊට පෙර 78,79 කාලේ විශාල සුළි සුළඟක් ඇවිත් නැගෙනහිර පළාතට විශාල හානි වුණා. යුද්ධය, සුළි සුළං, සුනාමි, ගංවතුර වැනි ආපදා සියල්ලටම මේ රටේ ජනතාව මුහුණ දීලා ඉන්නේ.
    ඒ නිසා මේ අවස්ථාවේ අපි ආරක්ෂක අංශවලට සම්පූර්ණ සහය දීලා රටේ සාමාන්‍ය ජනතාව තුළ තිබෙන බිය, සැක, අවිශ්වාසය නැති කරන්න ඕනෑ. ඒ අයට විශ්වාසයක් ඇතිකරන්න ඕනෑ. මේ වගේ ප‍්‍රදේශවල නම් මුස්ලිම් ජනතාව අතරේ ලොකු ප‍්‍රශ්නයක් නැහැ, මම දන්න විදියට මුස්ලිම් ජනතාව විශාල පිරිසක් මේ ප‍්‍රදේශවල ඉන්න නිසා. නමුත් ලංකාවේ මුස්ලිම් ජනතාව අඩුවෙන් ඉන්න ප‍්‍රදේශවල මුස්ලිම් ජනතාව, මුස්ලිම් දරුවෝ බයෙන් ඉන්නවා සිංහල ජනතාවගෙන් කරදර සිද්ධ වෙයි කියලා. සිංහල දරුවෝ සහ සිංහල ජනතාව බයෙන් ඉන්නවා මුස්ලිම් ජනතාව අතරෙන් ත‍්‍රස්තවාදීන් ඇවිත් තමන්ට හිරිහැර කරයි කියලා.

    මම පසුගිය දිනවල කොළඹ සිටින මුස්ලිම් ජාතික මගේ මිතුරන් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට ගියා. ගිහින් කතා කළා. මම ඒ ගෙවල්වලට ගියේ ඒ ජනතාව තුළ තිබෙන බිය නැතිකරන්න. සිංහල, මුස්ලිම්, කිතුනු ආදී මේ සියලු පාර්ශ්වයන් අතර තිබෙන බිය අපි නැතිකරන්න ඕනෑ. ඒ තුළ අපි ජාතික සමගිය සහ සංහිඳීයාව ශක්තිමක් කළ යුතුයි. මේ සති දෙකේ කරන සෑම කතාවක දීම මම කිව්වා මේ ත‍්‍රස්තවාදීන් ඉන්නේ 150කටත් වඩා අඩු පිරිසක්. ඒ පිරිස කවුද කියලා අපේ ආරක්ෂක අංශ හඳුනාගෙන තිබෙනවා. යම් පිරිසක් බෝම්බ පුපුරුවාගෙන මැරුණා. සමහරු ආරක්ෂක අංශ සමග සටනේ දී මැරුණා. සෑහෙන පිරිසක් අපි අත්අඩංගුවට ගත්තා. තව ඉතාම සුළු පිරිසක් තමයි අත්අඩංගුවට ගන්න තියෙන්නේ. පහක් හයක් වගේ. මේ රටේ මුස්ලිම් ජනතාව ඒ ත‍්‍රස්තවාදීන්ගේ ගොඩට තල්ලු කරන්න එපා කියලායි මම සිංහල සහ දමිළ ජනතාවගෙන් ඉල්ලන්නේ. මුස්ලිම් ජනතාව කෙරෙහි විශ්වාසය තියලා සියලූ ජාතීන් සමගියෙන් සුහදතාවයෙන් එකට ජීවත්වෙන්න ඕනෑ. මේ ප‍්‍රශ්නය නිසා අපි බෙදුණොත් සැකයට අවිශ්වාසයට පත්වෙලා හිටියොත් එල්ටීටීඊ යුද්ධය වගේ වසර 25ක් ඈතට මේ ත‍්‍රස්වාදය දුවන්න පුළුවන්. අපි කළ යුත්තේ මුස්ලිම් තරුණයෝ මේ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට යන්න නොදී රැකගන්න එකයි. ඒ රැුකගන්න තමයි ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ ත‍්‍රස්තවාදීන් මර්දනය කරලා තමුන්නාන්සේලා සමග ඉතාම හොඳින් එකතුවෙලා කටයුතු කරන්නේ. ආණ්ඩුකාරතුමා කිව්වා මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් කිසිම පැමිණිල්ලක් චෝදනාවක් නැති බව ආරක්ෂක අංශ වෙතින් එයාලට කරදරයි කියලා. මම ඒ පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. නැගෙනහිර ආඥාපතිතුමා මෙතන කතා කරලා ඉවර වෙලා දෙමළ භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා. එතුමා දමිළ භාෂාවෙන් කතාකරන විට මම බලන් සිටියේ තමුන්නාන්සේලාගේ මුහුණු දිහා. මම එහෙම බැලූවේ මම දන්නවා මුහුණු වෙනස් වෙනවා කියලා. නමුත් හැම මුහුණකම සිනහවක් ආවා. හැම මුහුණකම ලොකු පිබිදීමක් ආවා. මම කනගාටුවෙනවා මට දමිළ භාෂාවෙන් කතා කරන්න බැරි එක ගැන. මට දමළ භාෂාවෙන් කතා කරන්න පුළුවන් වුණා නම් ආඥාපතිතුමා කතා කරන කොට වගේම තමුන්නාන්සේලා ලොකු ඕනෑකමකින් ආසාවකින් මගේ කතාව අහයි. මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනෑ දේ. ආඥාපතිතුමා කතාකරන කොට තමුන්නාන්සේලාගේ මුහුණුවල ලොකු පිබිදීමක් ආවේ ඇයි. අන්න ඒ තමුන්නාන්සේලාට සමීප වෙච්ච හැටි. මේක තමයි සංහිඳියාවේ නොතේරෙන භාෂාව. අපි මිනිසුන් විදියට එකට එකතුවෙන සංඥාව. ඕක තමයි මනුස්සකම. අපි භාෂාවෙන් බෙදිලා, ආගම්වලින් බෙදිලා, කුලවාදයෙන් බෙදිලා. ඇත්ත කියන්න එපැයි දැන් උතුර වගේ ප‍්‍රදේශ ගත් විට කුලවාදය නිසා ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. ආණ්ඩුවකට වුනත් සංවර්ධන කටයුතු කරන්න එය විශාල බාධාවක් වී තිබෙනවා.

    තමුන්නාන්සේලා ආරක්ෂ හමුදා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මේ දුන්න සහයෝගය දීලා ඒ වගේම තමුන්නාන්සේලා ජනතාවට හො`දින් කරුණු පැහැදිලි කරලා, මුස්ලිම් තරුණ පිරිස ආරක්ෂා කරගැනීම තමුන්නාන්සේලාගේ වගකීමක්. ඔවුන් ත‍්‍රස්තවාදය පැත්තට තල්ලු වෙන්න නොදී කටයුතු කිරීමයි. ඉතා වැදගත් වෙන්නේ.
    මම මේ රැුස්වීමෙන් පස්සේ මුස්ලිම් තරුණයින් 1000 ක් පමණ පිරිස මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඒ අයට එන්න කියන්නේ ඒ අයගේ අදහස් මොනවද මේ ප‍්‍රශ්නය ගැන ඔවුන් කොහොමද කල්පනා කරන්නේ කියලා දැන ගන්නයි. මම දරුවන්ට වගේම ඒ ගොල්ලන්නට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ දරුවන්ට වගේමයි මේ රටේ ඉන්න දරුවෝ සියලු දෙනාට මම සලකන්නේ. සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියලා මට ප‍්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි මේවගේ ප‍්‍රශ්නයක දී මුලික වශයෙන් අපි හිතන්න අවශ්‍යයි දුර දිග යන්නේ නැතුව ප‍්‍රශ්නය කොහොමද ඉවර කර ගන්නේ කියලා.

    එල්ටීටීඊ යුද්ධය දිග්ගැසුණේ ඇයි. ප‍්‍රභාකරනුත් ඉතා සුළු පිරිසකගෙන් තමයි පටන් ගත්තේ. ප‍්‍රභාකරන්ට දමිළ දරුවෝ විශාල වශයෙන් ඇදෙන්න පටන් ගත්ත මුලික හේතුව වුණේ 83 කළු ජූලිය. කළු ජූලියේ දී එල්.ටී.ටී.ඊයට කිසිම සම්බන්ධකමක් නැති දමිළ, මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර විනාශ කෙරුවා, කඩ සාප්පු ගිනි තිබ්බා. දමිළ ජනතාව මරලා දැම්මා. 83 කළු ජූලියෙන් තමයි එකවරම තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊයට වේගයෙන් ඇදී ගියේ. 83 කළු ජුලියෙන් පස්සේ දමිළ ජනතාව අතර යමක් කරන්න පුළුවන් අතේ මිටේ සල්ලි තිබුණ විශාල පිරිසක් රට හැර දාලා ලෝකයේ වෙනත් රටවල්වලට ගියා. ඉතිරි වෙච්ච විශාල පිරිසක් එල්.ටී.ටී.ඊයට සම්බන්ධ වුණා. එල්.ටී.ටී.ඊයට එකතු වුණේ ඇයි, ඒ ගොල්ලොන්නට කිසිම වැරැුද්දක් නොකරපු අයට වැරදි විදිහට සලකපු නිසා. හිරහැර කරපු නිසා. ඒ ගොල්ලන්ගේ ගෙවල් ගිනි තියලා, කඩසාප්පු ගිනි තියලා ව්‍යාපාර ගිනි තියලා, ඒ ගොල්ලන්නට පුද්ගලිකව හිරිහැර කළ නිසා.

    පසුගිය සතියේ මම බෞද්ධ, කි‍්‍රස්තියානි, හින්දු, ඉස්ලාම් සර්ව ආගමික නායකයන් කැදෙව්වා. ඒ වේලාවේ තමුන්නාන්සේලාගේ ඉස්ලාම් පුජකතුමෙක් කතා කළා තමුන්නාන්සේලා මාධ්‍යවල දකින්න ඇති. තරුණ පූජකතුමෙක් අඬ අඬා කතා කළේ. ඒ පූජකතුමා කිව්වා. අවුරුදු 30 ක් මේ රටේ යුද්ධය තිබුණා එල්ටීටීඊයත් එක්ක. මුස්ලිම් ජනතාවට පාරේ යන්න කිසිම කරදරයක් තිබුණේ නැහැ. පාරේ යන විට මුස්ලිම් කියලා කිව්වොත් අපිව බලන්නෙත් නැහැ. අපිව අත ගාන්නේත් නැහැ. අපේ බෑග් බලන්නේත් නැහැ කියලා එල්ටීටීඊ යුද්ධය කාලේ. නමුත් දැන් මේ ප‍්‍රශ්නය වුණාට පස්සේ අපි මුස්ලිම් කිව්වොත් අපිව බලන්න ගන්නවා, අපිව පරික්ෂා කරනවා. සැකයෙන් බලනවා. ඒ මවුලවිතුමා ඇඬුවේ ඒයාගේ දරුවෝ යන්නේ සිංහල දරුවෝ සිටින පාසලකට. දැන් පාසලේ දරුවෝ මගේ දරුවා දිහා අවිශ්වාසයෙන් බලනවා කියලා එතුමා කිව්වා.
    ත‍්‍රස්තවාදය කියන එක ලෝකයේ කිසිම තැනක ජයග‍්‍රහණ කරලා නැහැ. ත‍්‍රස්තවාදය ලෝකයේ සෑම තැනකම කොච්චර ප‍්‍රබල රටවල්වලට පහර දුන්න ද? අවසානයේ ත‍්‍රස්තවාදය විනාශ වුණා. ලෝකයේ නිදහස් සමාජය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කරනවා.

    2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ නිව්යෝක්වල සිද්ධියේ දී අල්කයිඩා නායක බින්ලාඩන් එදා ලෝක වෙළෙ`ද මධ්‍යස්ථාන විශාල කුලූනු දෙක මොහොතකින් විනාශ කළා. 2700 කට වැඩි පිරිසක් එකතැන මිය ගියා. ඇමෙරිකාවට අදවත් කියන්න බැහැ හරියට මිය ගිය ගණන කියද කියලා. ලෝකයේ බලවත්ම යුද ශක්තිය තියෙන්නේ ඇමෙරිකාවට. ඇමෙරිකාව ඉහළ ම තාක්ෂණය තියෙන රට. එදා එහි යුද හමුදා මුලස්ථානය පෙන්ටගනයට බෝම්බ දැම්මා. ගුවන් යානා දෙකක් අර කුලුනු දෙකකට ගැහුවා. තව ගුවන් යානයක් පෙන්ටගනයට බෝම්බ දැම්මා.

    ඒක අමෙරිකාව යුද ශක්තිය තිබුණයි කියලා නවත්වා ගන්න පුළුවන්කම තිබුණ ද ඒ ගොල්ලන්ගේ රේඩාර්වලට වැදුණා ද මෙහෙම වෙනවයි කියලා. නමුත් ගැහුවා විනාශ වුණා. අවසානයේ අල්කයිඩා සංවිධානය සහ බින් ලාඩන් විනාශ වුණා.

    ඒ වගේම ලෝකයේ අද තිබෙන ත‍්‍රස්තවාදි ව්‍යාපාර කිසිම දේකට පැවැත්මක් නැහැ. ලෝක බලවතුන් විසින් ඒවා විනාශ කරනවා. ලෝකයේ කිසිම ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් ආයුධ හදන්නේ නැහැ. ආයුධ හදන්නේ වෙන කට්ටයක්. ආයුධ හදන අය ආයුධ හදන්නේ නැත්නම් ත‍්‍රස්තවාදයත් නැහැ. මොකද ත‍්‍රස්තවාදීන්ට ආයුධ නැහැ. ඒකනිසා අපි මේ දෙපැත්තම හඳුනා ගන්න අවශ්‍යයි. ඒ නිසා ත‍්‍රස්තවාදය කියන ඒක ලෝකයේ පවතින්නේ නැහැ. ත‍්‍රස්තවාදය විනාශ වෙනවා.

    අපේ‍්‍රල් 21 සිද්ධියත්, 26 වැනිදා සයින්දමර්දු සිද්ධියත් ලංකාවේ ප‍්‍රශ්න නොවෙයි මේවා ලෝකයේ ප‍්‍රශ්න. මේවා ජත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙච්ච ත‍්‍රස්ත ව්‍යාපාරයක ප‍්‍රශ්න. අපි හිතන්න ඕනැ ලෝකයේ තියෙන ප‍්‍රශ්නයක්. අපි කොහොමද ලංකාවෙන් අයින් කරන්නේ කියලා. ඒක මේ වන විට සාර්ථකව කරලා තියෙනවා. ඉතිරි ටිකත් අපේ ආරක්ෂක හමුදාව සහ පොලිසිය සිදු කරයි. ඒ නිසා ඒ අයට සහයෝගය දෙන්න අපි ඉතා සමගියෙන් බෙදීමක් නැතුව, වෙන්වීමක් නැතුව කටයුතු කරයි. අවිශ්වාසයක් නැතුව, බයක් සැකක් නැතුව ජිවත් වෙන්න මේ ප‍්‍රදේශවල ආයතන ප‍්‍රධානීන් විදුහල්පතිතුමාලාන්, නරගාධිපතිතුමන්ලා ප‍්‍රාදේශීය සභාපතිතුමන්ලා මන්ති‍්‍රවරුන්, මේ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ ආරක්ෂක හමුදා සමග සමීපව, හිතවත්ව, මිත‍්‍රශීලීව කටයුතු කරන ලෙසයි.

    යුද්ධය කියන්නේ හොඳ දෙයක් නොවෙයි. යුද්ධය මිනිස් ජීවිත විනාශ කරනවා විතරක් නොවෙයි, යුද්ධය දේපළ විනාශ කරනවා විතරක් නොවෙයි, යුද්ධය ආර්ථිකය විනාශ කරනවා විතරක් නොවෙයි, යුද්ධය මනුස්සකම නැති කරනවා. ලෝකයේ සත්‍යය, සාධාරණය යුක්තිය නැති කරනවා. යුද්ධය අමානුෂිකත්වය ගොඩනගනවා. ත‍්‍රස්තවාදය තුළ තියෙන්නේ ඒකයි. ආමනුෂිකත්වය, ම්ලේච්ඡත්වය ත‍්‍රස්තවාදය තුළ තිබෙන්නේ. ඒ නිසා ලෝකයේ ත‍්‍රස්තවාදයට පැවැත්මක් නැහැ.

    තමුන්නාන්සේලාගේ උතුම් ඉස්ලාම් ධර්මය ඉතාම සාමකාමී ධර්මයක් දේශනා කරන්නේ, බෞද්ධ දර්ශනය වේවා, හින්දු දර්ශනය වේවා කිතුනු දර්ශන වේවා ඉස්ලාම් දර්ශනය වේවා යහපත් සමාජයක් ගොඩ නගන්න, මිනිසුන් හොඳින් ජීවත් වෙන හැටි කියලා දෙන්න යි උත්සාහ කරන්නේ, ඒ ආගමික ධර්මතාවයන්ට ඔය ත‍්‍රස්තවාදී දර්ශනය නැහැ. ඒක තමයි අපි පැහැදිලි කරලා දෙන්න අවශ්‍යය.

    ඒ නිසා මිනිසෙකුට දියුණු වෙන්න, මුස්ලිම් ජනතාවට ඉස්ලාම් ධර්මය තුළ, කිතුනු

    ජනතාවට කිතුනු දර්ශනය තුළ, බෞද්ධ ජනතාවට නම් බෞද්ධ දර්ශනය තුළ, දමිළ හින්දු ජනතාවට ද හින්දු දර්ශනය තුළ මාර්ගයක් පවතිනවා. දේවස්ථානය ද පල්ලිය ද පන්සල ද කෝවිල ඒ තමා වඩාත් වැදගත් වෙන්නේ අධ්‍යාපනය ලබනවා වගේම. ආධ්‍යාපනයයි දැනුමයි ඒ වගේම මිනිසුන් විදියට යහපත්ව ජිවත් විමේ ක‍්‍රමයයි මේ සියල්ල ත‍්‍රස්තවාදය තුළ නැහැ. එතන තියෙන්නේ මිලේච්ඡුත්වය, විනාශය, ත‍්‍රස්තවාදය ලේ රුධිරය, ඒවායි එතැන තියෙන්නේ.

    ඒ නිසා අපේ දරුවන්ට මේ දේ කියලා දීලා සැම දෙනාම හො`දින් කටයුතු කරමු, මේ තමුන්නාන්සේලාගේ අපේ රට, මේ රටේ දරුවන්ගේ මේ රට සිංහල ද, දමිළ ද මුස්ලිම් ද භේදයක් නැති සියලු දෙනාගේ රට. මේ ඇතිවෙච්ච සියලු ව්‍යසන අවසන් කරලා, මේ ප‍්‍රදේශය වගේම රටම අපි ඉතා හොඳ තත්වයකට පත් කරලා ස්ථිර සාමයක් ඇති කිරීමේ ඒ වැඩ කටයුතු කරගෙන යමු.

    මම අද පැමිණියේ යුද, නාවික,ගුවන්,පොලිසිය ආරක්ෂක අංශවලටත් ඒ ශක්තියක් දීමටයි. ඒ සියලූ දෙනාට මගේ ගෞරවය ස්තූතිය පළ කරන්න, ඔබ සෑම කෙනෙක්ම අපේ‍්‍රල් 26 වෙනිදා කළේ සුළුපටු දෙයක් නොවෙයි. ජිවිත පරිත්‍යාගයෙන් ඒ සදහා සහයෝගය දුන් ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ සිට අවසාන නිලයේ සිටින පොලිසියේ සිටින සියලූ දෙනාට මගේ ගෞරවය ප‍්‍රණාම පුද කරනවා. ඒවගේම ආරක්ෂක අංශවලට සහයෝගය දෙන මේ ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, මැති ඇමතිවරුන්, පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.

    අපි මේ රටේ ආරක්ෂක අංශ තව තවත් ශක්තිමත් කරනවා. අපි මේ රටේ බුද්ධි අංශ ශක්තිමත් කරනවා. ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ පොලිසිය කෙරෙහි මගේ හොඳ විශ්වාසයක් තියෙනවා. ඒ අයට මේ දේ හොඳින් කරන්න පුළුවන්. පිටරට හමුදාවල් නැතුව මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප‍්‍රශ්න අපේ සියලූ දෙනාට ඉෂ්ට කරන්න පුළුවන්.

    මම පොලිසිය සම්පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කරනවා. ඒ වගේම ආරක්ෂක අංශ ප‍්‍රතිසංවිධානයක ලක් කරනවා. අපේ අලූත් ආරක්ෂක ලේකම්තුමා ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මැතිතුමා හිටපු දක්ෂ හොඳ හමුදාපතිවරයෙක්, හිටපු බුද්ධි අධ්‍යක්ෂක වරයෙක්. ඒ වගේම අනෙක් සියලූ අංශත් සමග ඒ කරන ප‍්‍රතිසංවිධානය අලුත් මුහුණුවරක් සැලැස්මක් අලුත් වැඩපිළිවලත් එක්ක අපි කටයුතු කරගෙන යනවා. තමුන්නාන්සේලාට සැකෙන් බියෙන් අවිශ්වාසයයෙන් තොරව සතුටින් ඉන්න පුළුවන් නිදහස් සමාජයක් අපි ගොඩ නගනවා. එය කරන්න අපි සියලු දෙනාටම එකට එකතු වෙමු යි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාටම ස්තූතිය පළ කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya