මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වංචාවෙන් දූෂණයෙන් තොර යහපත් රටක් ගොඩනැගීමට වංචාවට සහ දූෂණයට එරෙහිව ද කඩිනමින් දණ්ඩනය ක්‍රියාත්මක විය යුතුයි

    මාර්තු 19, 2019

    මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධව තම ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිංගප්පූරු රජය සිදු කළ යුතුව ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    තමා ඒ පිළිබඳ සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට (18) පෙරවරුවේ කොළඹ දී එක් වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2015 ජනවාරි 08 වනදා හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ තමාගේ මැතිවරණ ප්‍රකාශයේ ප්‍රධාන කරුණක් වූයේ අල්ලස හා දූෂණය තුරන් කිරීම බවයි. ඒ වෙනුවෙන් පසුගිය වසර 04 තුළ පියවර රැසක් ගත් අතර කිසිදු රජයක් නොගත් දැඩි තීන්දු තීරණ රැසක් ද ඒ අතර වන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ඉතිහාසයේ සිදුවූ විශාලම මංකොල්ලය වූ මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ සොයා බැලීමට තමා පත් කළ ජනාධිපති කොමිසම මේ රටේ ජනතාවගේ අවධානයට ලක් වූයේ කොමිෂන් සභා පිළිබඳ මෙතෙක් ජනතාව තුළ තිබූ අවිශ්වාසය සහ පසුගාමි අදහස් වෙනස් කරමින් බව ද ජනාධිපතිතුමා පැවසීය. එම පරීක්ෂණ සිදුකරන නිලධාරින්ට විවිධ අභියෝග සහ ගැටලුවලට මුහුණදීමට සිදු වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා ඇතැම්විට ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීමට ද කටයුතු කළ අතර එය රාජ්‍ය පාලනය තුළ සිදුවූ දුර්වල අවස්ථාවක් ලෙස තමා සලකන බව කියා සිටියේ ය.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් රාජ්‍ය පාලන සංකල්පය තුළ රටක් ලෙස ඉදිරියට යාමට තිබෙන ප්‍රධානතම අභියෝගය වංචාව සහ දූෂණය නම් එය වැළැක්වීමට රටට ආදරය කරන සියලු පාර්ශ්වයන් එක්විය යුතු බවයි. බලය රැකගැනීම මිස රටේ සැබෑ තත්ත්වය පිළිබඳ කතා කරමින් ඒවාට විසඳුම් සෙවීමට කිසිවෙකු කටයුතු නොකරන අතර, එවන් තත්ත්වයක් තුළ කිසිවෙකු මේ පිළිබඳව විවෘතව කථා නොකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ අල්ලස හා දූෂණය මැඬලීම වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් දැනට රට තුළ ක්‍රියාත්මක වුව ද වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් පවතින බවයි. සුපිළිපන්න රාජ්‍ය සේවයක් තුළ වංචාවෙන් දූෂණයෙන් තොර යහපත් රටක් ගොඩනැගීමට වංචාවට සහ දූෂණයට එරෙහිව ද කඩිනමින් දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කරන ලදී.

    අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම මෙහි දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය තුරන් කරමින් එමඟින් ආර්ථික, සාමාජයීය, සංස්කෘතික සහ පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම මෙම ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීමේ අරමුණයි. වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස, දූෂණය, වත්කම්, බැරකම් දඬුවම් සහ වෙනත් ඊට අදාළ දුර්වල නීතිරීති අණ පනත්වලට සම්බන්ධ කරුණු කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සංශෝධනය කර ඒ අනුව මෙම නව නීතිරීති ඇතුළත් පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කර තිබේ. මෙරට සියලු රාජ්‍ය ආයතන ව්‍යූහයන්හි අල්ලස නිවාරණය, හර පද්ධති වැඩිදියුණු කිරීම, දඬුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කර ගනිමින් මෙම ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කර තිබෙන අතර එහිදී සාකච්ඡා වට 40 ක් පමණ පවත්වා විද්වතුන්, විදෙස් විශේෂඥයන්, මහජනතාව ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස්වල අදහස් විමසීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කොට ඇත.

    ගෞරවනීය ත්‍රෛනිකායික මහාසංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද, කථානායක කරූ ජයසුරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් සහ ඇමරිකානු තානාපතිනි Alaina B Teplity , එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Hanaa Singer යන මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් හා  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya