අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය දිළිදු භාවය ඉහළ නංවන නීති විරෝධී මත්පැන් ද සහමුලින්ම තුරන් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී ක්‍රියාවට නන්වනවා- ජනපති

    පෙබරවාරි 10, 2019

    ග්‍රාමීය දරිද්‍රතාවය ඉහළයාමට මූලික හේතුවක් වී ඇති නීති විරෝධී මත්පැන් සහමුලින්ම තුරන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ද ඉදිරියේ දී ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

    තම බල ප්‍රදේශය තුළ නීතිවිරෝධී මත් පැන් තිබුණහොත් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එහි සම්පූර්ණ වගකීම භාරගත යුතු බවට නව චක්‍රලේඛයක් ලබන සතියේ දී නිකුත් කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාවට ප්‍රතිලාභ ප්‍රදානය කිරිම වෙනුවෙන්  ඊයේ  (09) පස්වරුවේ පොළොන්නරුව නව නගරයේ වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී පැවති වැඩසටහන අමතමිනි.

    ජනතාව දුගී බවින් මුදවාගෙන ඔවුන් ආර්ථික වශයෙන් නගා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය දියත් කර තිබිය දී එහි ප්‍රතිලාභ උපරිමයෙන් ලබා ගැනීම ජනතාවගේ වගකීම බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා යහපත් පවුල් ජීවිතයක්, යහපත් සමාජයක් මෙන්ම දැයේ දරුවන්ගේ අනාගතය ද අඳුරු කර දමන නීති විරෝධී මත්පැන්වලට එරෙහි වැඩපිළිවෙළ ද රටේත්, දරුවන්ගේත් අනාගතය වෙනුවෙන් තම ධූර කාලයේ දී සාර්ථක කර ගන්නා බව ප්‍රකාශ කළේය.

    පාසල් සිසුන් වෙත ලක්දරු දිරිය ශිෂ්‍යත්ව ප්‍රදානය, නිවාස හිමිකම් ප්‍රදානය, ජීවනෝපාය මාර්ග සංවර්ධනය යටතේ උපකරණ ප්‍රදානය, අඩක් ඉදිකර ඇති හා අලුත්වැඩියා කළයුතු නිවාස සඳහා සෙවිලි තහඩු ඇතුළු අමුද්‍රව්‍ය ප්‍රදානය ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් අද දින ලබාදෙන ලද ප්‍රතිලාභවල සමස්ත වටිනාකම රුපියල් කෝටි දොළහමාරකට ආසන්නය. ප්‍රතිලාභීන් වෙත සංකේතාත්මකව ප්‍රතිලාභ බෙදාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ඉසුර දේවප්‍රිය, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya