මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසනීය මිත්‍රත්වයක් සමඟ පිලිපීන – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමට කැපවන බව පිලිපීන ජනපති අවධාරණය කරයි

    ජනවාරි 17, 2019

    රී ලංකාව සමඟ ඉදිරියේ දී පුළුල් සබඳතාවයක් ඇති කර ගැනීමට පිලිපීනය සූදානම් බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් Rodrigo Duterte මැතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරය දෙරට අතර සබඳතාවල ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කළ බව සඳහන් කළ පිලිපීන ජනාධිපතිවරයා එම විශ්වාසනීය මිත්‍රත්වය සමඟ දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට කැපවන බව ද අවධාරණය කළේය.

    පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා අතර නිල හමුව   (16) පස්වරුවේ පැවැත්වුණු අතර ඉන් අනතුරුව එරට මාධ්‍ය අමතමින් පිලිපීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    සංවර්ධනය වන ජාතීන් ලෙස දෙරටටම ඇත්තේ පොදු අභිලාෂයන් බව මෙහි දී පැවසූ ජනාධිපති ඩියුටර්ට් මැතිතුමා දෙරටට පොදු වූ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම වැනි අභියෝගවල දී මෙන්ම ජාත්‍යන්තර තලයේ දී ද ශ්‍රී ලංකාව සමග සමීප සබඳතාවයක් ගොඩනඟා ගැනීමට පිලිපීනය සූදානම් බව සඳහන් කළේය.

    තමන් සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර පැවති නිල හමුවේ දී සිදු කෙරුණු සාකච්ඡා දෙරටේම යහපත වෙනුවෙන් සිදු කෙරුණු විශිෂ්ට මැදිහත්වීමක් බව සඳහන් කළ ඩියුටර්ට් මැතිතුමා එහිදී අත්සන් තැබුණු නව අවබෝධතා ගිවිසුම් මගින් දෙරටටම ඉදිරියේ දී ප්‍රතිලාභ රැසක් උදාවනු ඇති බව සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකා පිලිපීන සබඳතා ශක්තිමත් කර, නව මාවතකට ගෙන ඒම තම අපේක්ෂාව බවයි.

    තම සංචාරය සමග ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර දිගු කාලීන විශ්වාසනීය මිත්‍රත්වයක් ගොඩනැගුණු බව සඳහන් කළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙරට අතර ගොඩනැගුණු නව මිත්‍රත්වය ඔස්සේ දෙරටේම ජනතාවගේ සෞභාග්‍ය සහ ප්‍රගතිය වෙනුවෙන් එක් ව ගමනක් යාමට හැකිවනු ඇති බව ද කියා සිටියේය.

    නුදුරු දිනකදී ම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස පිලිපීන ජනාධිපතිවරයා වෙත මෙහිදී ආරාධනා කළ ජනාධිපතිතුමා මෙම සංචාරයේ දී සිදු කෙරුණු සාකච්ඡාවන්ගේ ප්‍රගතිය ඇගැයීමට එය අනඟි අවස්ථාවක් වනු ඇති බව ද සඳහන් කළේය.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya