අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යා,තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක්-විද්‍යා හා ඉංග්‍රිසි ගුරුවරු බදවා ගන්නවා- අගමැති

    ජනවාරි 10, 2019

    විද්‍යාව, තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් කරා ගමන් කිරිමෙන් මේ රටට හොද අනාගතයක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා.විද්‍යා ගුරුවරුන්ගේ හිඟයක් ඇති නොවන පරිදි විද්‍යා ගුරුවරුන් හැටියට පුහුණු කර වැඩිපුර බඳවා ගැනීමටත්, ඒ සමඟම ඉංග්‍රීසි භාෂාව සඳහා ද ගුරුවරුන් බඳවා ගැනීමටත් ඉදිරියේදී කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර උළෙලට සහ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ (9) අග්‍රමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;

    කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සරය අද අපි සමරනවා. මේ පාසලේ ඉතිහාසය පිළිබද මට වඩා බොහෝ දෙනෙක් දන්නා බව කිව යුතුයි. මෙම පාසලේ දියුණුව උදෙසා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා, පී. ඩී. එෆ් ගුණරත්න මන්ත්‍රිතුමා, මෙම පාසලේ සේවය කළ විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය, ආදී ශිෂ්‍යයන්, ඇතුළු උදව් උපකාර කළ සියළු දෙනා, මෙම අවස්ථාවේ සිහිපත් කරමින් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මේ සියළු දෙනාගේම කැපවීම සහ උත්සාහය මත මෙම විද්‍යාලය අද දියුණු තත්වයට පත්වී තිබෙනවා.


    ජයන්ත ජයවීර මන්ත්‍රිතුමා සහ ගුණරත්න වීරකෝන් හිටපු ඇමතිතුමා ද මෙම පාසලෙන් බිහිවූ ආදි ශිෂ්‍යයන්. මම පළමුවෙන්ම සේනාධිර මන්ත්‍රිතුමාගේ කාලයේදී තමයි මෙම පාසලට පැමිණියේ. එවකට මා අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළා. මම මෙම පාසලට පැමිණෙන විට මෙහි ගොඩනැගිලි සියල්ලක්ම ඉදිවී තිබුණේ නැහැ. ඉන් පසුව ගොඩනැගිලි ඉදිවීමත් සමගම කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය දියුණුවට පත්වී තිබෙනවා. මෙම පාසලේ අඩුපාඩුකම් ගණනාවක් මේ වන විට සපුරා
    තිබෙනවා. පාසලට පිහිණුම් තටාකය ඉදිකිරීම සදහා වීරසිංහ මැතිතුමා එකග වී තිබෙනවා. ඊළඟ දින කිහිපය තුලදී මෙම පාසලේ පිහිනුම් තටාකය ඉදිකිරීමේ කටයුතු සිදු කරන බවට එතුමා මා වෙත පැවසුවා. කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සරය වෙනුවෙන් මෙම පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන වීරසිංහ මැතිතුමා විසින් ඒ කටයුත්ත සිදු කරනු ලබනවා. ඒ වෙනුවෙන් අපි එතුමාට ස්තුති වන්ත වෙනවා.

     

    අද මෙම කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉතා දක්ෂ ශිෂ්‍ය කණ්ඩායම් සිටිනවා. කලාවට සහ සංස්කෘතියට ඔවුන්ගේ තිබෙන දක්ෂතාවය මා දුටුවා. අද දින සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඔවුන් මෙහිදී කතා කළා. පන්ති කාමරවල තිබෙන නව නිර්මාණ මා දුටුවා. මේ සියළුම දේ විවිධ දක්ෂතා ඇති දරුවන් විසින් සිදුකර තිබෙනවා. දක්ෂකම් ඇති දරුවන් නිසා පාසල මෙන්ම රට ද දියුණු වෙනවා. මොවුන්ගේ මෙම නව නිර්මාණ දෙස බැලීමේදී තාක්ෂණය පිළිබඳ මට සිහිපත් වෙනවා. මෙවැනි තාක්ෂණ දියුණුවක් ඇති දරුවන් කුමන සමාජයක ජීවත් විය යුතුද යන්න අප විසින් සලකා බැලිය යුතුයි. කෘෂි සමාජයක මෙවැනි දරුවන්ට ජීවත්වීම අපහසු කාර්යයක්. අපි විසින් තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ඇති කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පුරවැසියන් කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහිකරන්නේ කියලා මම කියනවා.


    මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අලූත් නිර්මාණ ගණනාවක් මම බැලූවා. එහිදී ඇඳුම් මැදීම සඳහා ඉස්තිරික්ක, පස් කපන යන්ත්‍ර, ඩෝසර් වැනි උපාංග ඔවුන් විසින් නිර්මාණය කර තිබුණා. විද්‍යාව, තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් කරා ගමන් කිරිමෙන් මේ රටට හොද අනාගතයක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා. අපේ ඉතිහාසය තුල ආර්ථිකය රදා පැවතියේ වී සහ ධාන්‍ය වර්ගවලිනුයි. ඉන් පසුව කුරුදු හා අනෙක් කුළුබඩු , තේ, රබර් , පොල් , ඇඟළුම් කර්මාන්තය, සදහන් කළ යුතුයි. අප අවුරුදු 10 – 15 යුද්ධයෙන් පසුබෑමට ලක්වී තිබෙනවා. නමුත් අද අපි ලෝකයේ අනෙක් රටවල් සමඟ තරඟ කළ යුතුව තිබෙන බැවින් අපි සමාජයේ ඉදිරියට යා යුතුව තිබෙනවා. ලෝකයේ රටවල් අතර දියුණු රටවල් තාක්ෂණය පදනම් කරගත් දැනුම තිබෙන රටවල් බව කිව යුතුයි. ඒ තාක්ෂණය තුලින් මේ පාසල්වල අධ්‍යාපන ආයතන දියුණු කරනවා. දෙවනුව විශ්ව විද්‍යාලය. ඊළඟ වසර කිහිපය තුLa අපේ විද්‍යා ගුරුවරුන් සංඛ්‍යාව වැඩි කර බදවා ගන්නා ලෙස මම විෂය භාර අමාත්‍යවරයාට පැවසුවා.

    විද්‍යා ගුරුවරුන්ගේ හිඟයක් ඇති නොවන පරිදි විද්‍යා ගුරුවරුන් හැටියට පුහුණු කර වැඩිපුර බඳවා ගැනීමටත්, ඒ සමඟම ඉංග්‍රීසි භාෂාව සඳහා ද ගුරුවරුන් බඳවා ගැනීමටත් ඉදිරියේදී කටයුතු කරනවා. විද්‍යාව, ගණිතය ගුරුවරුන්ගෙන් එය ආරම්භ කරනවා. එසේ කිරීමෙන් සෑම පාසලකටම විද්‍යාව උගැන්වීමේ හැකියාවක් තිබෙනවා. දෙවනුව විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන සංඛ්‍යාව අපි වැඩ කළ යුතුයි. අද ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ඉංජිනේරු සංඛ්‍යාවේ අඩුවක් තිබෙනවා. අද
    පුද්ගලික ආයතනවලින් ද උපාධිය ලබා ගන්නා අය සිටිනවා. සමහරු පිටරටින් උපාධිය ලබාගෙන ලංකාවට පැමිණෙනවා. ඒත් ලංකාවේ විද්‍යා තාක්‍ෂණ දැනුම තියෙන කණ්ඩායම අපි වැඩි කළ යුතුව තිබෙනවා. මේ
    රජය මගින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා.

    අපි පළවෙනි අවුරුදු කිහිපයේදී අධ්‍යාපන ක්‍රමයේ ස්ථාවර භාවයක් ඇති කළා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, අවශ්‍ය ගුරු සම්පත් ලබා දීම, පහසුකම් සැපයීම ආදී සියළු කාර්යයන් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ලබා දෙමින් සිටිනවා. උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල දියුණු කිරීම සඳහා අපේ උසස් අධ්‍යාපන ඇමතිවරු ක්‍රියාකර තිබෙනවා. මේ පදනම මත අපි මේ වැඩකටයුතු තවත් ඉදිරියට දියුණු කළ යුතුව තිබෙනවා.

     

    අපි කර්මාන්ත දියුණු කරන අතරතුර ඒ කර්මාන්තවලට අවශ්‍ය තාක්‍ෂණ දැනුම අරගෙන දෙනවා. උදාහරණයක් ලෙස අපි ඇඟලූම් කර්මාන්තය 1978 දී ආරම්භ කළා. එම අවස්ථාවේදී අපි කරන්නේ ටේලර් කර්මාන්තය ලෙස සමහරු කිව්වා. රෙදි ගෙනවිත් කපා මසා පිටරට යවන බවට ඔවුන් පැවසුවා. අද ටේලර් කර්මාන්තයට වඩා දැන් අපිට දැනුමක් තිබෙනවා. අපේ අගය වැඩි වී තිබෙනවා. අපි සකස් කර තිබෙන රෙදිපිළි ඇඟලූම් අපේ තාක්‍ෂණය යොදා අපි සකස් කර තිබෙනවා. අන්න ඒ හේතුව මත අද අපිට ඇඟලූම් කර්මාන්තය 55% ක් විතර දේශීය ආදායම ලබලා තිබෙනවා. අපි ආරම්භ කර ඇත්තේ 25% යි. නමුත් අද 55% ක් දක්වා වැඩි වී තිබෙනවා.

     

    දැන් තේ කර්මාන්තය දෙස බලන විට අපි විසින් එක් එක් වර්ගයේ තේ හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම තේ නිෂ්පාදනය කරනවා. තේ, රබර් කර්මාන්තය අපේ තාක්‍ෂණයත් සමඟ තිබෙන කර්මාන්තයි. සමහර අවස්ථාවල අපි තාක්‍ෂණය මිලදී ගෙන වැඩකටයුතු කරනවා. ඒ සමාගමුත් තියෙනවා. අපේ ඉංජිනේරු ක්‍ෂ්ත්‍රයේත් විශාල වර්ධනයක් තියෙනවා. මං හිතන්නේ මේ වන විට ශ්‍රී ලංකා සමාගම් ජාත්‍යන්තර මට්ටමේ මහාමාර්ග හදන තත්ත්වයකට අද පැමිණ තිබෙනවා. ඒ සියල්ලම ඒ වගේම දියුණු වෙනවා. අපි හැම අංශයේම තාක්‍ෂණය යොදවා ඊලඟ වසර 10 තුළ දී දියුණු කර අපි විශාල පිම්මක් ඉදිරියට ගන්න අවශ්‍යයි.

     

    අපි පොඩි කාලේ අපිට ඉදිරියෙන් හිටියේ ජපානය පමණයි. දැන් අපිට පිටුපසින් ඇෆ්ගනිස්ථානයයි, ලාඕසය, කාම්බොජියාව, මියන්මාරය වගේ රටවල් සිටිනවා. අපි ඉදිරියට යන්න උත්සාහ කළ යුතුයි. අන්න ඒ වැඩකටයුතු අමාත්‍යාංශ මගින් සිදුකිරීම සදහා අපි පලවෙනි තැන තොරතුරු තාක්‍ෂණයට ලබා දී තිබෙනවා. තොරතුරු තාක්‍ෂණය දැනගනිමින්, තොරතුරු තාක්‍ෂණයේ අගය වැඩි කිරීම සඳහා විශාල සංඛ්‍යාවකට පුහුණුව ලබා දීමට මේ වසරේ මුදල් වෙන් කර තිබෙනවා. එන වසරේදී රජය මගින් ඒ සඳහා පුහුණුව ලබා දෙනවා. අපේ තියෙන මිනිස් සම්පත් මදිකමක් තිබෙනවා. තොරතුරු, පරිගණක හා ඩිජිටල් තාක්‍ෂණය හදාරන සංඛ්‍යාවේ අඩුවක් තිබෙනවා. මේ වසර තුළදී වැඩිපුර සංඛ්‍යාවකට එම දැනුම ලබාදීමේ කටයුතු අපි සිදු කරනවා. ඒ සංඛ්‍යාව පුහුණු කර අපි ඉදිරියට යා යුතුව තිබෙනවා. තොරතුරු තාක්‍ෂණයෙන් තමයි අනෙකුත් තාක්‍ෂණයන් සියල්ලම එකට එකතු වෙන්නේ.

     

    ඊට අමතරව ජපානය සමඟ සකුරා වැඩසටහනක් තිබෙනවා. ඒ පිළිබදව අපි අදහස් හුවමාරු කරගෙන යනවා. එහි නව නිර්මාණ ගණනාවක් තිබෙනවා. මේ සියලූ දෙනාටම නව නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකි දක්ෂ අයට අනාගතයක් ඇති කිරීමට අපි ක්‍රියා කරනවා.

    මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. දේශපාලඥයන් වශයෙන් අප අනෙක් අයට ආදර්ශයක් ලබා දිය යුතුයි. අවාසනාවකට මෙන් අද අපේ පාර්ලිමේන්තුවෙන් රටට ආදර්ශයක් ලැබෙන්නේ නැහැ. අපේම හැසිරීම නිසා ඒ ආදර්ශය අහිමි කරගෙන තිබෙනවා. ක්‍රිකට් ක්‍රිඩාවකින් පසු ඇතැම් විට පාසල් දෙකක සිසුන් අතර ඇතිවන ගැටුමකටත් වඩා අන්ත තත්වයක් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ඇතිවුණා. පාර්ලිමේන්තුවේ ඇතිවූ මේ සිද්ධීන් වසන් කළ යුතු නැහැ. ඒ පිළිබඳව පුළුල්ව අපේ අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව වැරදි නිවැරදි කර ගෙන රටට ආදර්ශයක් ලබා දෙන්නේ කෙසේද කියා බැලිය යුතුයි. මේ සිදුවීම් සම්බන්ධව වැරැද්ද තවමත් පිළිගෙන නැහැ. මෙවැනි පසුබිමක් තුල දේශපාලඥයෙක් වශයෙන් අද මා ඔබතුමන්ලාට උපදෙස් දෙන්නේ කෙසේද කියන ප්‍රශ්නය මතුවෙනවා. එලෙස උපදෙස් දීමට හැකි තත්වයක් අද නිර්මාණය වී නැහැ. මොකද මමත් ඒ පාර්ලිමේන්තුව නියෝජනය කෙරෙන නිසා ඒ තත්වය උදා වී තිබෙනවා. මේ සිද්ධිය පාපිස්ස යට සඟවා තැබුවොත් එය අපේ රටට විශාල හානියක් වෙනවා. කොපමණ ලැජ්ජාවකට පත් වුනත් අප සියළු දෙනා මේ සිද්ධිය පිළිබඳව අවධානය යොමු කර ඒ ගැන පුළුල්ව සාකච්ඡා කර කුමක් ද සිදුවුනේ කියා සත්‍ය රටට හෙළි කළ යුතුයි. එය අප සියළු දෙනා දැනගත යුතුයි.

     

    මෙම සිද්ධියෙන් පසු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා තරුණ තරුණියන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අදහස් පළ කළා. අප මේවා වසන් කළ යුතු නැහැ. මෙය නිවැරදි කර ගත යුතුයි. මහජන නියෝජිතයින් වශයෙන් අපේ අඩුපාඩු හා වැරදි තිබෙනවා නම් ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. එසේ නොවුනොත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අහිමි විය හැකියි. පාර්ලිමේන්තුවේ පමණක් නොව ඇතැම් පළාත් පාලන ආයතනවල දේශපාලඥයින් මෙලෙස හැසිරුණු ආකාරය අපි පසුගියදා දුටුවා.

    මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලෙන් පිටව යන විට අප ඔවුන්ට ආදර්ශයක් දිය යුතුයි. අපේ වැරදි නිවැරදි කර නොගන්නවා නම් එවැනි ආදර්ශයක් අපට ලබාදිය නොහැකියි. මේ පාසලේ දරුවන්ට හොඳ ආචාර ධර්ම පද්ධතියක් තිබෙන බව මෙහි පැමිණි අවස්ථාවේදී මා දුටුවා. මහජන නියෝජිතයින් වන අපටත්, ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා. එහෙත් අවාසනාවකට මෙන් එයට කුමක් ද වුනේ කියා ඇතැම් විට මම ම මගෙන් ප්‍රශ්න කර ගන්නා අවස්ථා තිබෙනවා. ඇතැම් රටවල ආචාර ධර්ම පද්ධතිය නීතියෙන් ක්‍රියාත්මක කරනවා. ඇතැම් රටවල ඒ ආචාර ධර්ම පද්ධතිය සම්බන්ධව දැනුවත් කරන්න කොමසාරිස්වරු පත් කර තිබෙනවා. ඔවුන් මන්ත්‍රිවරුන්ට අදාල වාර්තා සපයමින් උපදෙස් ලබා දෙනවා. පසුගියදා එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු පිරිසකට බීමතින් පාර්ලිමේන්තුවට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදුන් අයුරු අප දුටුවා. මෙරට පාර්ලිමේන්තුව සම්බන්ධවද අපට එලෙස තදින් ක්‍රියා කරන්න සිදුවේවි. එසේ නොකරනවා නම් එය රටට කරන විශාල හානියක් බව කිව යුතුයි.

    පාර්ලිමේන්තුවේ විනය කඩ කළත් ඒ අය සම්බන්ධව ගත යුතු පියවර කුමක්ද කියා අප පුළුල්ව සිතා බැලිය යුතුයි. මහා සංඝ රත්නයට විනය පිටකයක් තිබෙනවා. නමුත් අපට තිබෙන්නේ ස්ථාවර නියෝග. ඒ අනුව එය ආරක්ෂා කරමින් අප ක්‍රියා කළ යුතුයි. මම අවසාන වශයෙන් මේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට සුභ අනාගතයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya