අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ද සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලබාදීමේ වගකීම ඉටු කරනවා – ජනපති Featured

    අගෝස්තු 28, 2018

    රටේ සංවර්ධනයේ දී කිසිදු භේදයක් නොමැති අතර, උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ද සංවර්ධනයේ ප‍්‍රතිලාභ උදා කර දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ඒ සඳහා පළාතේ සියලු මහජන නියෝජිතයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ සහයෝගය ද අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය දෙවන වරටත්  ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී ය.

    උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගෙනයන වැඩපිළිවෙළ මෙන්ම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධන වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩසටහන් විධිමත් සහ කඩිනම් කිරීමට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිතුමා එම ජනතාවගේ පානීය ජල ගැටලුව, සෞඛ්‍ය ගැටලු, අධ්‍යාපන ගැටලු සහ තරුණයින්ගේ රැකියා පිළිබඳ ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

    උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ පළමු රැස්වීම ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය ජූලි 30 වන දා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ගනු ලැබූ පියවර කි‍්‍රයාත්මක වන ආකාරය සහ එහි ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

    මන්නාරම දිස්ති‍්‍රක්කයේ මඩු පූජා භූමියේ පානීය ජල සම්පාදනය සඳහා ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය විමසා බැලුණු අතර ශ‍්‍රී ලංකා නාවික හමුදාව මගින් එම ඉදිකිරීම් සිදුකරමින් පවතින බව සඳහන් කෙරිණි.

    කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ සංවර්ධන කටයුතු, වාලච්චේන කඩදාසි කම්හල සංවර්ධනය. අලිමංකඩ හා කුරුන්චායිනිවු ලුණු ලේවායන් සංවර්ධනය, අච්චුවේලි කාර්මික ජනපදය සංවර්ධනය, කාර්යසාධනය අඩු කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප‍්‍රතිසකී‍්‍රය සඳහා ගෙනයන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳව ද සමාලෝචනය ලක්විය.

    තව ද උතුරු පළාතේ ප‍්‍රචණ්ඩත්වය හා මත් කුඩු භාවිතය ඉහළ යෑමට ආදළ ගැටලු ද සාකච්ඡාවට බදුන් කෙරුණු අතර, මත්ද්‍රව්‍ය ජවාරම මර්ධනය සඳහා ගෙනයන වැඩපිළිවෙළ කාර්යක්ෂම කරන ලෙස ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත උපදෙස් දෙනු ලැබීය.

    නිවාස ඉදිකිරීම්, ජල සම්පාදනය, සනීපාරක්ෂාව හා වෙනත් යෝග්‍ය යටිතල පහසුකම් සැපයීම සඳහා සහය ලබාදීමට ති‍්‍රවිධ හමුදාව කැමැත්ත පළ කර තිබෙන අතර එම කටයුතු පිළිබඳව ද අවධානය යොමු විය.

    උතුරු හා නැගෙනහිර පළාත්වල ප‍්‍රධාන උපාය මාර්ගික ව්‍යාපෘති ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස සියලු රේඛිය අමාත්‍යාංශ වෙත දන්වා තිබෙන අතර, එම ප‍්‍රදේශවල සංවර්ධනයට අදාළ තම යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී පළාතේ සියලු මහජන නියෝජිතයින් වෙත ද ආරාධනා කළේය.

    ඒ අනුව එම නියෝජිතයින්ගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

    විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, ගයන්ත කරුණාතිලක, ඩී.එම්. ස්වාමිනාදන්, රවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ද, උතුරු පළාත් ආණඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් පී. සිවඥානසෝති යන මහත්වරුන් ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, උතුරු, නැගෙනහිර දිස්ති‍්‍රක් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ති‍්‍රවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් ද මීට එක්ව සිටියහ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya