මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැස්ටියන් මාවත බස් පර්යන්තයේදී කප්පම් ලබාගන්නන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්

    ජූලි 17, 2014

    අන්තර් පළාත් බස් රථ කොළඹ සිට ධාවනය ආරම්භ කරන බැස්ටියන් මාවත බස් පර්යන්තය තුළ කප්පම් ලබාගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් දියත් කරන ලෙසට පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතාට උපදෙස් දෙයි.


    පසුගියදා බැස්ටියන් මාවත බස් පර්යන්තය නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබීය. කප්පම් ලබාගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියේ සහයෙන් තවදුරටත් වැටලීම් සිදුකිරීම වැඩිකරන ලෙසටත් උපදෙස් ලබාදෙන ලදී.


    විශේෂයෙන් බස් රථයට හිමි නියමිත වේලාවට ම සිය ගමන් වාරය ආරම්භ කිරීම අනිවාර්ය කරන ලෙසට උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා බැස්ටියන් මාවත බස් පර්යන්තයේ අඩුපාඩු සකස් කොට මගීන්ගේ පහසුව සඳහා එය විධිමත් කිරීමට පියවර ගන්නා ලෙසටත්, බස් රථ පර්යන්තය මීට වඩා පිරිසිදුව තබාගැනීම කෙරෙහි සැලකිලිමත් වන ලෙසටත්, මගීන්ගේ භාවිතය සඳහා පර්යන්තයේ ස්ථාපිත කර ඇති සනීපාරක්‍ෂක ස්ථාන මීට වඩා පහසුකම්වලින් පරිපුර්ණ කරන ලෙසටත් උපදෙස් ලබාදෙන ලදී.

     එමෙන්ම පර්යන්තය තුළ සවිකොට ඇති CCTV කැමරා පද්ධතිය පුළුල් කරන ලෙසටත්, එහි සේවකයින්ගේ භාවිතය සඳහා වෝකි ටෝකි යන්ත‍්‍ර ලබාදෙන ලෙසටත් මෙහිදී උපදෙස් දෙනු ලැබීය. වේලා සටහන්කරුවන්ට මේතාක් එක් නිල ඇඳුමක් පමණක් ලබාදී ඇති අතර, එය 03ක් දක්වා වැඩි කරන ලෙසටත්, බස් පර්යන්තයේ කාර්යාලීය කාර්යමණ්ඩලය සඳහා ද නිල ඇඳුමක් ලබාදෙන ලෙසටත් උපදෙස් දෙන ලදී.

    පර්යන්තය තුළ වෙළඳාමේ නියුතු සුළු වෙළඳුන් සඳහා ආර්ථීක අමාත්‍යාංශය මගින් ලබාදී ඇති නිල ඇඳුම හා හැඳුනුම්පත පැළඳ සිටීම අනිවාර්ය කරන ලෙසටත් අමාත්‍යවරයා නියෝග කරන ලදී.


    මගීන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම තම අමාත්‍යාංශයේ ප‍්‍රමුඛතම වගකීම බව පෙන්වා දෙන අමාත්‍ය  සී.බී. රත්නායක මහතා ඒ සඳහා ගත හැකි සියලු ම කි‍්‍රයාමාර්ග ගන්නා බවද අවධාරණය කර සිටියි.

    බැස්ටියන් මාවත බස් පර්යන්තයෙන් දිනකට බස්රථ 1200 - 1500ත් අතර ප‍්‍රමාණයක් ගමන් ආරම්භ කරන අතර පර්යන්තය සඳහා දෛනිකව ලක්‍ෂයත් - ලක්‍ෂ එකහමාරත් අතර මගීන් සංඛ්‍යාවක් පැමිණෙති. මෙම පර්යන්තයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවකයින් 13න් දෙනෙකුද, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සේවකයින් 45 දෙනෙකු පමණද මේ වන විට සේවයේ යෙදී සිටිති.

    මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා, අධ්‍යක්‍ෂ ජනරාල් විජිතා වීරසිංහ, කි‍්‍රයාකාරි අධ්‍යක්‍ෂ කේ. බුද්ධදාස, අධ්‍යක්‍ෂ (පාලන) ඩී.එම්.ඩබ්ලිව්.බී. දැල්පිටිය යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya