අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ පරපුරට යහපත් රටක් ගොඩනගාදීමට සියලු දෙනා සාමුහිකත්වයෙන් වගකීම් ඉටුකළ යුතුයි

    අප්‍රේල් 02, 2018

    රටේ තරුණ පරපුරට යහපත් සමාජයක් සහ යහපත් රටක් ගොඩනගාදීමට සියලු දෙනා සාමූහිකත්වයෙන් වගකීම් ඉටුකළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.


    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ, නිකවැරටිය පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවති ‘ජාතික යොවුන් පුරය 2018’ සමාප්ති උත්සවය අමතමිනි.

    ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරනු ලබන යොවුන් පුරය 2018 මෙවර කුරුණෑගල දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පසුගිය 28 වනදා ඇරඹිණි.

    දිවයින පුරා තරුණ තරුණියන් 7000 ක් පමණ මීට එක්වූ අතර, විදෙස් රටවල තරුණ තරුණියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

    තරුණ තරුණියන්ගේ පෞරුෂ වර්ධනය සඳහා නායකත්ව වැඩමුළු, යොවුන් කඳවුරු හා තරුණ හමු මෙහිදී පැවැත්වුණ අතර ශ‍්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ජාතික සංහිඳියාව සහ සාමුහිකත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීමටත්, තරුණ සංවර්ධන ක්ෂේත‍්‍රයේ කටයුතු සම්බන්ධ විදෙස් තරුණ තරුණියන් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, අන්‍යොන්‍ය අවබෝධයක් ලබාදීම තුළින් සාමුහිකත්වය, සහජීවනය පදනම් කරගත් විවිධ කි‍්‍රයාකාරකම්වල නියැලෙමින් ජාතික සංවර්ධනය සම්බන්ධයෙන් තරුණ පරපුර අතර කතිකාවක් ඇතිකරමින් අදහස් හා යෝජනා ලබාගැනීමටත් මෙමගින් වේදිකාවක් සැපයේ.
    මෙම සමාප්ති උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද ලොව දියුණු රටවල් එම දියුණුව කරා ළඟාවී ඇත්තේ සියලු දෙනා රට වෙනුවෙන් පොදු අරමුණක් යටතේ කටයුතු කිරීම නිසා බවයි.

    එබැවින් පෞද්ගලික න්‍යාය පත‍්‍රවලින් බැහැරව රට වෙනුවෙන් පොදු න්‍යාය පත‍්‍රයක් ඔස්සේ සියලු දේශපාලන නායකයින් මෙන්ම සියලු දේශපාලන සංවිධාන කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා සාමුහිකත්වය, ජාතියක් ලෙස ඉදිරියට යාමට යෝධ ශක්තියක් බව ද කියා සිටියේය.

    මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ රටේ තාරුණ්‍යයේ අපේක්ෂාවන් මුදුන් පත් කිරීම වෙනුවෙන් රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බවයි.

    2018 ජාතික යොවුන් පුරයේ නිර්මාණාත්මක සහ හොඳම යෞවන සමාජය ලෙස ලකුණු 160 ක් ලබාගෙන කුරුණෑගල දිස්ති‍්‍රක් යෞවන සමාජය ජයග‍්‍රහණය කළ අතර, ඊට අදාළ කුසලානය මෙහිදී ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍ය එස්.බී. නාවින්න, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, සරත් ෆොන්සේකා, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya