අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල් නිනෝ ආචරණය ඉදිරියේදී ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ අවදානමක්

    ජූලි 01, 2014

    මෙම වසරේ එල් ලිනෝ ආචරණය ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට 50%කට වැඩි අවදානමක් ඇති බවට විද්වතුන් විසින් අනතුරු ඇඟවීමක් කරනු ලැබ තිබෙන බවත්, එළැඹෙන සැප්තැම්බර් - ජනවාරි මාසවලදී ශ්‍රී ලංකාව මේ සඳහා මුහුණ දීමට සූදානම් විය යුතු බවත් අමාත්‍ය චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (01) උදෑසන ගල්කිස්ස හෝටලයේ පැවති අභ්‍යවකාශ තාක්ෂණය ඇසුරෙන් නියඟයන් අධ්‍යයනය කිරීම හා පුරෝකථන වැඩසටහනේ ආසියා ශාන්තිකර කලාපීය රටවල නියෝජිත සමුළුව අමතමිනි.

    මිනිස් ක්‍රියාකාරකම් නිසා ස්වාභාවික උපද්‍රව වේගවත් වෙමින් පවතින අතර, ගංවතුර, නියඟය මෙන්ම සාගර ජල මට්ටම ඉහළ යාම නිසා ආහාර, ජලය හා සෞඛ්‍ය කෙරෙහි බරපතළ අනතුරක් ඇතිවෙමින් තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


    එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථීක හා සමාජ කොමිසම (UNESCAP) ආයතනය මඟින් ක්‍රියාත්මක මූලික වැඩසටහනක් ලෙස කෘෂිකාර්මික නියඟයන් පුරෝකතනය කිරීම සඳහා අභ්‍යවකාශ තාක්ෂණය යොදා ගැනීමේ කලාපීය යාන්ත්‍රණයට ප්‍රමුඛස්ථානයක් හිමි වන අතර, එහි නියමු රටක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගැනීම සතුටට කරුණක් බවත්, අභ්‍යවකාශ තාක්ෂණ යෙදවුම් ජාතික සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීම ජාතික ශක්‍යතා සංවර්ධනය සඳහා ඉතා වැදගත් දායකත්වයක් ලබාදීමේ හැකියාව පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මෙම ව්‍යාපෘති මඟින් චන්ද්‍රිකා දත්ත ලබාදීම, අදාළ විෂය ක්ෂේත්‍රය සඳහා විශේෂිත වූ තාක්ෂණ යෙදවුම් සංවර්ධනය කිරීම, තාක්ෂණික විශේෂඥ සහය ලබාදීම හා ඉංජිනේරුවරුන්, විද්‍යාඥයින් සහ තාක්ෂණික විශේෂඥයින් සඳහා දේශීය හා විදේශීය වශයෙන් පුහුණු අවස්ථා සලසාදීම යන ක්‍රියාවලි ඔස්සේ ප්‍රතිලාභ ලැබීමට නියමිතය.

     

    චන්ද්‍රිකා තාක්ෂණය අද සංවර්ධනයේ වෙන් කළ නොහැකි ක්‍රියාවලියක් වන අතර ස්වාභාවික උපද්‍රව පිළිබඳව කලින් අවධානය හා පුරෝකතනය කළ හැකි වීම සුවිශේෂී වේ. නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණයේ වර්ධනය ඉදිරි ශ්‍රී ලංකාවේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාවන් ලෙස හඳුනාගෙන ඇති බවත්, 2015 - 2020 තාක්ෂණ හා පර්යේෂණ සැලැස්මේ මෙම ප්‍රමුඛතා ඇතුළත් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අපට අරමුදල් සපයන්නේ නම් අපේම වූ නැනෝ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට අපට දැන් හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

    UNESCAP ආයතනය විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ ආසියා පැසිපික් කලාපීය රටවල අභ්‍යවකාශ තාක්ෂණය භාවිතයෙන් කෘෂිකාර්මික නියඟයන් නිරීක්ෂණය සහ අනතුරු ඇඟවීමේ ශක්‍යතාව වර්ධනය කිරීම සිදු කෙරේ. නියඟ නිරීක්ෂණය හා පූර්ව අනතුරු ඇඟවීම් සඳහා වූ කලාපීය සහයෝගිතා යාන්ත්‍රණය ලෙස මෙම ව්‍යාපෘතිය නම්කර තිබේ.

    ආතර් සී. ක්ලාක් ආයතනය කේන්ද්‍රීය ආයතන ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම නියඟයන් අධ්‍යයනය කිරීම හා පුරෝකථනය කරන කලාපීය රටවල නියෝජිත සමුළුව මඟින් ඒ ඒ රටවල සාමූහික ක්‍රියාදාමයන් ඇති කිරීම, මෙතෙක් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පුනරීක්ෂණය කිරීම, ක්‍රියාකාරී යාන්ත්‍රණය ඇගයීමට ලක්කිරීම හා මූලික ප්‍රතිඵලයන් සාකච්ඡා කිරීම ආදී වැදගත් කරුණු රැසක් සාකච්ඡා කිරීම මෙම දෙදින කලාපීය සමුළුවේ අරමුණයි.


    මෙම වැඩමුළුව සඳහා දෙස් විදෙස් නියෝජිතයන් ඇතුළු විද්වතුන් රැසක් සහභාගී වී සිටියහ.

    MAP

    elnino 2elnino 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya