නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෘද රෝග පරදවා පිළිකා රෝගයෙන් තර්ජනයක් - සෞඛ්‍ය ඇමැති Featured

    දෙසැම්බර් 28, 2016
    ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග අතරින් පිළිකා රෝගය ඉදිරියේ දී බරපතල තර්ජනයක් ඇති කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මේ වනවිට බෝනොවන රෝග අතරින් හෘද රෝග ප්‍රථම ස්ථානයේ පසුවන අතර, ඉතා නුදුරේදී ම පිළිකා රෝගය ප්‍රථම ස්ථානයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යරයා මෙහිදී පෙන්වා දුන්නේය. 
     
    පිළිකා සරණ සංගමය සහ ඉන්දිරා ජයසූරිය සත්කාරක සේවාව ඒකාබද්ධව මහරගම දී අද (27) පෙරවරුවේ පැවැත් වූ උත්සවයක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 
     
    මෙහිදී "පිළිකා සරණ” උපකාරක ඇමතුම් සේවාව ආරම්භ කළ අතර, ඉන්දිරා ජයසුරිය ළමා සත්කාරක සේවාව ද ආරම්භ කෙරුණි. දිනකට පැය 12ක් පුරා ක්‍රියාත්මක "පිළිකා සරණ” උපකාරක අනතුරු සේවාව 011-2363211 යන දුරකථන අංකය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. 
     
    "ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථනවලට අනුව බෝ නොවන රෝග ගෝලීය ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ ද රෝහල්වලට ඇතුලත් කරන රෝගීන්ගෙන් 70% ක් බෝනොවන රෝගවලින් මිය යනවා. පිළිකා රෝගය ඉදිරියේ දී තර්ජනයක් විය හැකියි. පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ රුපියල් ලක්ෂ 15ක් වූ සීමා බන්ධනය මම ඉවත් කළා. මේ වනවිට ඇතැම් රෝගීන්ට රුපියල් ලක්ෂ 100 දක්වා වියදම් කරනවා. පිළිකා රෝගීන් වෙනුවෙන් ලංකාවේ මෙතක් ආරම්භ කිරීමට නොහැකිව තිබූ එකම ශල්‍ය කර්මය ඇටමිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්මයයි". 
     
    මහරගම අපේක්ෂා රෝහලේ සිටින පිළිකා රෝගීන්ට ඇටමිදුලු බද්ධ කිරිම පසුගියදා ආරම්භ කළ බවත් එම ශල්‍යකර්මය සඳහා රුපියල් මිලියන 18ක් වැය වන නමුත් ලංකාවේ එම ශල්‍යකර්මය නොමිලයේ සිදු කරන බව පෙන්වාදුන් අමාත්‍යවරයා ඉදිරියේ දී එම ශල්‍යකර්මයන් මහනුවර මහ රෝහලේ දී ආරම්භ කිරීමට ද මම බලාපොරොත්තු වන බවත් පැවසීය.
     
    "කතානායක කරූ ජයසූරිය මහතා තම දියණිය වන ඉන්දිරා ජයසූරිය මහත්මිය වෙනුවෙන් අද ආරම්භ කරන මෙම සත්කාරක සේවාව පිළිකා රෝගීන්ට ඉතා වැදගත් වෙනවා. ඉන්දිරා ජයසූරිය මහත්මිය පිළිකා රෝගයට ගොදුරු වුවත්, ඇය සතෙකුට හිංසා නොකළ දරුවන් වෙනුවෙන් කැප වූ උදාර කාන්තාවක්. මෙවැනි අවිහිංසාවාදී කාන්තාවක් පිළිකා වැනි රෝගවලට ගොදුරුවීම සංවේදී කරුණක්" යැයි ද කීය. 
     
    මෙම අවස්ථාවට කතානායක කරූ ජයසුරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විල්ප්‍රට් කුමාරසිරි, "පිළිකා සරණ” සංගමයේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya