කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට පසුගිය 26 දා එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය.
විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා එම පාසැලේ විදුහල්පති ජේ.පී.බී. ලියංගස්කුඹුර මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සහ සිසුන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ.
ආගමික වතාවත් වලින් අනතුරුව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාලයීය රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන්ට උපහාර දැක්වීමට එක්වූ ජනාධිපතිතුමා මෙම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ සුදුහදුන් පැළයක් ද රෝපණය කළේය.
ලංකා අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනීමැරුමක් සම්බන්ධයෙන් 18 දෙනෙකුට 25 වන දින අධිකරණය විසින් මරණ දඩුවම ලබා දීමෙන් පසුව ඔවුනොවුන්ගේ පවුල් වල ඥාතීන් එකිනෙකාට චෝදනා කරගත් ආකාරය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා නුසුදුසු පුද්ගලයින් ඇසුරු කිරීමෙන් වන විපත පිළිබදව ද කරුණු අවධාරණය කළේය.
වත්මන් නව තාක්ෂණයට තාරුණ්‍යය බැදී ඇති බව ද අප බලාපොරොත්තු වන ලෝකය තිඛෙන්නේ තාක්ෂණික මෙවලම් මත නොවන බව අප තේරුම්ගත යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
දින කිහිපයකට පෙර දිවයිනේ ප්‍රසිද්ධ පිරිමි විද්‍යාලයක අභ්‍යන්තර ප්‍රශ්නයකට පාසල ඉදිරිපිටදී ශිෂ්‍යයෙකුට පහරදීමේ සිදුවීම පාසැල් ශිෂ්‍යයන්ට නොගැලපෙන අශීලාචාර හැසිරීමක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
පාසැලේ විශේෂ දක්ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ එම පාසැලේ ආදි ශිෂ්‍යයන් වූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර යන මහත්වරුන්ට ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදුවිය.
වතුරුවිල සුජාත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ශ්‍රී.ල.නි.ප. කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායක රජික කොඩිතුවක්කු යන මහත්වරුන් ද පාසැලේ ආචාර්ය මණ්ඩලය ද ආදි සිසුන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.