මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම සිද්ධිය තරයේම හෙළා දකිනවා Featured

    ජූනි 17, 2014

    අලුත්ගම ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය තමා ඇතුළු සියලු ම ආගමික නායකයින් තරයේම හෙළා දකින බව සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ පවසති.


    මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් මේ බව පැවසුවේ පසුගියදා අලුත්ගම ප්‍රදේශයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අද කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.


    මෙම සිද්ධිය හේතුවෙන් ජීවිත හා දේපළවලට හානි පැමිණ ඇති බවත් මෙම තත්ත්වය කිසිදු ආගමක්, කිසිදු ජාතියක් විසින් අනුමත නොකරණ කරුණක් වන බවත්, මේ සිද්ධියේදී මියගිය, විපතට පත් හා දේපළ හානියට පත් වූ පිරිස් වෙනුවෙන් තම සංවේගය පුදකරන බවත් වජිර හිමියෝ පැවසූහ.


    තවදුරටත් අදහස් දැක්වූ  කුඹුරුගමුවේ වජිර හිමියන්; “වසර ගණනාවක සිට ආගමික නායකයින් ලෙස රට තුළ සාමය හා සංහිදියාව ඇති කිරීමට කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සියලු ආගමික නායකයින් ප්‍රාර්ථනා කරනවා. එසේ නමුත් අවාසනාවකට අපේ ප්‍රාර්ථනාවන්ට බාධා කරමින් ආගමික සංහිඳියාව නැති කිරීමට ඇතැම් අන්තවාදී පිරිස් ක්‍රියා කරමින් සිටිනවා. මේ සිද්ධියෙන් ජීවිත විනාශ වුණා. මෙසේ ජීවිත නැති වුණේ කිසි දෙයක් පිළිබඳ නොදන්නා අහිංසක ජනතාවගෙයි. මේ වගේ සිද්ධීන් තිස් වසරක් පුරා අපේ රටේ උතුරු නැගෙනහිර පමණක් නොවේ දකුණේත් එදා බහුලව දක්නට ලැබුණා. ඒත් ජනාධිපතිතුමන්ගේ එඩිතර නායකත්වයත්, වීරෝදාර රණ විරුවන්ගේ කැපකිරීමත් නිසා රටට හිමි වූ නිදහස නැවත නැති කිරීමට ඇතැම් පිරිස් ක්‍රියා කරමින් පවතිනවා. මේ පිරිස් හා සංවිධාන පිළිබඳව සොයා බලා තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට රජය හා ආරක්ෂක අංශ මගින් කටයුතු කළ යුතු වේ. මේ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් අප පහළට ඇද දැමීමට ඇතැම් බලවේග මේ අවස්ථාවේදී කටයුතු කරමින් පවතිනවා. මේ රට සිංහල බෞද්ධ ජනතාවට පමණක් අයත් රටක් නොවේ. මෙය සියලු ම ජාතීන්ට අයත් ඔවුන්ගේ උරුමයන් සියල්ල ආරක්ෂා කළ යුතු රටකි. එසේ හෙයින් මේ මොහොතේ විවිධ අසත්‍ය කටකතා පතුරුවන්නන්ගෙන් ප්‍රවේසම් වන ලෙස ද කුඹුරුගමුවේ වජිර හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


    මෙම අවස්ථාවට එක් වූ බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කිතුනු ආගමික නායකයින් සහ ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානය නියෝජනය කරමින් පැමිණි, ජනාධිපති සම්බන්ධීකාරක සරත් හෙට්ටිආරච්චි පියතුමා පැවසුවේ, මේ රටේ මිනීමරු ත්‍රස්තවාදය සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාවට කරගෙන යාමට ඉඩ දිය නොහැක. නීතියේ ආධිපත්‍ය ලංකාව තුළ ශක්තිමත් කළ යුතු වේ. වර්තමානය වන විට නවීන තාක්ෂණය ඉතාම දියුණු මට්ටමකට පත්ව තියෙනවා. ඒ නිසා අපරාධකරුවෙකුට සැඟවී සිටිය නොහැකියි. ජාති ආගම්, තරාතිරම නොබලා අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට ක්‍රියා කළ යුතු වේ.


    යුද්ධය නිම කර ඉදිරයට යන රටක ගමන් මග වෙනස් කර ආගමික සංහිඳියාව නැති කිරීමට ඇතැම් අන්තවාදී පිරිස් ක්‍රියා කරමින් පවතිනවා. මෙම ක්‍රියාව රජය මගින් සිදු කළ දෙයක් නො වේ. මෙහි පැහැදිලිව පෙන්නුම් කරනවා පිටුපසින් සිටින බලවේගයක් ඇති බව. නවනීදන් පිල්ලේගේ ක්‍රියා කලාපය ශක්තිමත් කිරීමට මෙවන් ක්‍රියාවන් මෙහෙය වන පිරිසක් මේ පිටුපස සිටිනවා.

     

    මෙම අවස්ථාවට එක් වූ අල්හාජ් හසන් මවුලවි පූජක තුමා පවසා සිටියේ, අලුත්ගම, බේරුවල සිද්ධිය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් වන බවත්, මෙවැනි සිද්ධීන් නැවත කිසි තැනක ඇති වීමට ඉඩ නොතැබිය යුතු බවත්ය. අල්හාජ් හසන් මවුලවි පූජක තුමා තවදුරටත් පැවසුවේ, මේ සිද්ධිය පිටුපස ජාත්‍යන්තර බලවේග ක්‍රියාත්මක වන බව පැහැදිලියි. දශක ගණනාවක් තිස්සේ පැවති යුද්ධය අවසන් වී දැන් සාමය උදාවී තියෙනවා. යුධ සමයේ ජාති, ආගම් භේදයකින් තොරව මිනිසුන් මරා දැම්මා. ඒ කාලයේ අපේ රටේ හැමෝම බලාපොරොත්තු වුණේ සාමයයි.  අප ළඟා කර ගත් සාමය නැවත නැතිවීමට ඉඩ තැබිය නොහැකියි. සාමය තියෙන රටක ප්‍රශ්නයක් තියෙන්න බෑ. ප්‍රශ්න තියෙන රටක සාමය තියෙන්නෙ නෑ. කිසිම ආගමක කියල නෑ ප්‍රශ්න විසඳගන්න ගහගන්න කියලා.  මේ මොහොතේ රට පුරා බොරු ප්‍රචාර ගලා යනවා. ඒවාට රැවටෙන්න එපා. ප්‍රශ්නයක් ඇත්නම් ඒවා සාකච්ඡා මගින් විසඳා ගැනීමට පියවර ගන්නා ලෙසද අල්හාජ් හසන් මවුලවි පූජක තුමා වැඩිදුරටත් එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya