අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමර්ශන හා මෙහෙයුම්වලට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක්

    මාර්තු 28, 2014
    යහපාල‍නයෙන් යුතු රාජ්‍ය සේවයක් උදෙසා දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය පරිපාලනය දූෂණ, අක්‍රමිකතාවලින් තොරව විධිමත්ව පවත්වා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් විමර්ශනයන් සිදු කරන අතර 2013 වර්ෂයේ රාජ්‍ය සේවයට අදාළව සිදු කරන ලද විමර්ශනයන්ගේ ප්‍රගති සමාලෝචනයක් පසුගියදා අමාත්‍යංශයේදී සිදු කරන ලදි.
     
    රාජ්‍ය අංශයේ අල්ලස්, දූෂණ, වංචා ඉවත්කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය සේවයක් ජනතාවට ලබා දීම සඳහා කැපවූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ශන අංශයට, පසුගිය වසරේ ලැබුණු සමස්ත පැමිණිලි සංඛ්‍යාව 680කි. ඉන් 547ක් නාමිකවද, 133ක් නිර්නාමිකවද වේ. මෙම ලැබුණු පැමිණිලිවලින් බොහොමයක් පෞද්ගලික හේතු මත ඉදිරිපත් කරන ලද ව්‍යාජ  පැමිණිලි බව විමර්ශනවලදී තහවුරු විය.  2013 වර්ෂය තුලදී ලැබුණු මෙම පැමිණිලිවලට අදාළව විමර්ශන පවත්වා පැමිණිලි 452ක් විසඳා අවසන් කර ඇති අතර පැමිණිලි 228ක් සම්බන්ධව මේ වන විට තවදුරටත් විමර්ශනයන් කරමින් සිටී.
     
    පසුගිය වර්ෂය තුළ අමාත්‍යංශයේ විමර්ශන හා මෙහෙයුම් අංශයට ලැබුණු පැමිණිලිවලින්  වැඩි පැමිණිලි ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම්වරුන්ට එරෙහිව ලැබී ඇත. මීට අමතරව වැඩි පැමිණිලි ප්‍රමාණයක් ග්‍රාම නිලධාරීන්ට විරුද්ධව ලැබී ඇත. සෙසු පැමිණිලි රාජ්‍ය කළමනාකරණ සහකරුවන්, ඉඩම් නිලධාරීන්, ගණකාධිකාරීවරු, දිස්ත්‍රික් ලේකම්වරුන් හා වෙනත් නිලධාරීන් චෝදනාවට ලක් කරමින් ලැබී ඇත. අකාර්යක්ෂමව කටයුතු කිරීම, දූෂණ, වංචා, අක්‍රමිකතාවල යෙදීම, අනිසි ලෙස තම නිලතල භාවිත කිරීම ආදී කරුණු මුල් කරගෙන මෙම නිලධාරීන්ට ආයතන සංග්‍රහයට අනුව විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අනුව ස්ථාන මාරුවීම් 6ක් ද, ලඝු විනය ක්‍රියාමාර්ග (අවම දඬුවම්) 11ක් ද, චෝදනාපත්‍ර  (විනය ක්‍රියා මාර්ග ) 23ක් ද ලබා දී ඇති අතර ග්‍රාම නිලධාරින් 13කට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගැනිමටද විමර්ශන නිලධාරීන් මේ අනුව කටයුතු කර ඇත.
     
    කාර්යක්ෂම වූත් ඵලදායී වුත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ක්‍රියා කරන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට මෙවැනි විමර්ශන සිදු කිරීමේදී ව්‍යාජ හා ද්වේෂ සහගත පැමිණිලි ද රැසක් ලැබෙන නිසාත්, නිවැරදි තොරතුරු වේලාවට නොලැබීම නිසාත්, නිර්ණාමික පැමිණිලි සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපහසු නිසාත්, විමර්ශනවලදී විවිධ තර්ජනවලට ලක්වීම නිසාත්, අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවී ඇති අවස්ථාවලදී විමර්ශන නිර්දේශ ඉදිරිපත් කිරීමට නොහැකිවීම හා දුර බැහැර ප්‍රදේශ සම්බන්ධව ක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඇති අපහසුව නිසාත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවත් මෙහිදී අනාවරණය විය.
     
    මෙම ප්‍රගති සමාලෝචනයට සහභාගී වූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසා සිටියේ, කිසිදු බලපෑමකට යටත් නොවී වඩාත් විනිවිදභාවයකින් විමර්ශනයන් සිදුකර අවශ්‍ය තීරණ ගැනීමට විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය නිදහස හා බලය ලබාදී ඇති බවය. එසේම මෙම විමර්ශන හා මෙහෙයුම් සිදු කරණු ලබන්නේ  රාජ්‍ය නිලධාරීන්ගෙන් පලිගැනිමට නොවන බවත් රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර ගැනිමට බවත් පැවසීය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් පි.බී. අබේකෝන් මහතා, විමර්ශන හා මෙහෙයුම් ඒකක‍යේ ප්‍රධානී අතිරේක ලේකම් බී.පී.පී.එස්. අබේගුණරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya