ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වූවත් පක්ෂ නො වූ රටවල් ගණන ඊට වඩා වැඩියි Featured

    මාර්තු 27, 2014

    ශී‍්‍ර ලංකාවට එරෙහිව අමෙරිකාව ප්‍රමූඛ රටවල් ඉදිරිපත් කළ යෝජනාවලිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අද (27) සම්මත වුවත් ඊට විරුද්ධව රටවල් 12ක් හා ඡන්දය දීමෙන් වැළකී සිටීමට රටවල් 12ක් තීන්දු කළ නිසා යෝජනාවට පක්ෂ වූවාට වඩා වැඩි රටවල් ගණනක් ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පස්වරුවේ හම්බන්තොට දී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාව සම්මත කර ගැනීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සියලු ප්‍රයත්නයන් දරමින් කළ හැකි සෑම දෙයක්ම කළ බවත්, ඡන්දය හිමි රටවල්වලට බලපෑම් කරමින් ඡන්ද ලබා ගත් බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පැවසීය. එම බලපෑම්වලට මුහුණදීමේ ශක්තියක් ඇති හෘද සාක්ෂියක් ඇති රටවල් යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර, සමහර රටවල් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි බව ද පීරිස් මහතා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා රජය කාගේවත් බලපෑම්වලට යටත් නොවන බව කී අමාත්‍යවරයා අපේ රටේ ජනතාව වෙනුවෙන් රටට අවශ්‍ය දේ සිදු කිරීමට ඉදිරියේදීත් රජය පියවර ගන්නා බව කීය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා: “ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා යෝජනාව සම්බන්ධව දහවැනි ඡේදය සම්බන්ධව වෙනම ඡන්දයක් ඉල්ලුවා. එම ඡේදයේ සඳහන් වෙලා තිබුණේ ශ්‍රී ලංකාවට විරුද්ධව පරීක්ෂණය මානව හිමිකම් කොමසාරිස්වරියට පැවරිය යුතුයි කියා. එය අසාධාරණ ක්‍රියාවලියක්. එය නරක පූර්වාදර්ශයක්. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරලා නැහැ. ඒ මුදල් කොහින්ද ලැබෙන්නේ කියා සඳහනක් නැහැ. පිල්ලේ මහත්මියට විවෘත මතයක් නැහැ. එතුමිය එක් අවස්ථාවකදී සඳහන් කළා මේ යුද්ධය සමයේදී ත්‍රස්තවාදය මුවාවෙන් දෙමළ ජනතාව පීඩාවට ලක් කළා කියා. යුද්ධය නිමවී සතියක් ඇතුළත ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි ඇය කිව්වා. එසේ කියූ කෙනෙකුට පරීක්ෂණයක් පැවැත්වීමට වගකීම භාරදීම යුක්ති සාධාරණ නැහැ. එතුමිය පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ. ඒ දහවැනි ඡේදයට ලබා ගත් ඡන්දයේදී අපේ තර්කය පිළිගනිමින් රටවල් 14ක් අපට ඡන්දය දුන්නා. රටවල් 10ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. එමනිසා අපේ තර්කය පිළිගත් රටවල් ගණන 24ක් වෙනවා. ආසියාවේ රටවල් 13ක් ඒ අතර සිටියා. එම රටවල් 13න් එකක් පමණයි අමෙරිකා යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ. අප්‍රිකානු රටවල් 4ක් පමණයි අමෙරිකාවට පක්ෂව ඡන්දය දුන්නේ. ඒකෙන් පේනවා අප්‍රිකානු, ආසියානු බහුතර රටවල් මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා කියලා. පිළිගත් සංඛ්‍යාව 23යි. යෝජනාව පිළිනොගත් රටවල් 24ක් වෙනවා. සන්සන්දනය කළොත් 2013 දී රටවල් 25ක් අමෙරිකාව සමඟ හිටියා. ප්‍රතික්ෂේප කළ සංඛ්‍යාව 21යි. මේ වසරේ අපි හොඳ තත්ත්වයකට පැමිණ තිබෙනවා.  

    මේ යෝජනාව ඉදිරිපත් කරන විට රටවල් අත්සන් කරනවා. මේ යෝජනාවට රටවල් 36ක් අත්සන් කළා. එම රටවල් 36න් 33ක්ම යුරෝපීය රටවල්. එය ලෝකයම වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයටත් මේ අය බලපෑම් කළා අත්සන් කරන්න කියා. නමුත් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය එයට අත්සන් කර නැහැ. අමෙරිකාවේ ජනාධිපතිවරයා සමහර රටවල ඉදිරියේදී සංචාරය කරන නිසා එය සාර්ථක කර ගන්න ඕනේ නම් මේ යෝජනාවට පක්ෂ වෙන්න කියා ඔවුන්ට බලපෑම් කළා. අමෙරිකාව සමහර රටවලින් අසා තිබෙනවා අපිත් එක්ක මිතුරු ද, හතුරුද කියා. එහෙම ඍජු ප්‍රකාශ හරහා බලපෑම් කරමින් මේ යෝජනාව සම්මත කරගැනීමට ඔවුන් විශාල ලෙස උත්සාහ කළා. මේ යෝජනාව එකපාරටම සම්මත වුණේ නැහැ. විශාල විවාද පවත්වා අවසනායේදීයි ඔවුන් මෙය සම්මත කර ගත්තේ. අපි මේ අයට අවනත නො වී සිටින නිසා මේ යෝජනාව ගෙනාවා. අපි මේ අයට අවනත වුණා නම් මේ යෝජනාව ගෙන එන්නේ නැහැ. අපි මේකට එකඟ වුණා නම් මේ ඡන්දයට යන්නේ නැහැ. නමුත් අපේ මේ යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා ඡන්දය ගෙනවා. ඒ අයට අවශ්‍ය ප්‍රතිඵලය, නිගමනය ගෙනඒමටයි මේ යෝජනාව ගෙනාවේ.

    අපි උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා. අතුරුදන් වූවන් ගැන කොමිසම ක්‍රියාත්මක කරනවා. ඒ අයට මේවා වැඩක්  නැහැ.

    සමහර රටවල් ආරක්ෂා ගිවිසුම් අත්සන් කර තිබෙනවා අමෙරිකාව සමඟ. ඒ නිසා ඔවුන්ට අපට පක්ෂපාතීව ඡන්දය ලබා දෙන්න බැහැ කියා අපට කියා තිබෙනවා. ඉතා වැදගත් ආර්ථික සම්බාධක සමහර රටවලට තිබෙනවා. ඒවා අවදානමකට ලක් කරලා ඡන්දය දෙන්න එම රටවලට හැකියාවක් තිබුණේ නැහැ. එයට මුහණ දෙන්න ශක්තියක් තිබුණ රටවල් හෘද සාක්ෂියට එකඟව කටයුතු කළා. ඉන්දියාව මෙවර ඡන්දය දීමෙන් වැළකී සිටියා. ජපානය ඡන්දය දීමෙන් වැළකී සිටියා. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් රාජ්‍යය වැනි රටවල් අමෙරිකාවට පක්ෂව ඡන්දය දුන්නේ නැහැ.

    මේ යෝජනාවල ප්‍රතිඵල මුළු ලෝකයටම දැනිලා. ඉරානයට, ලිබියාවට, ඇෆ්ගනිස්ථානයට දැනිලා තිබෙනවා. සුඩානය දෙකඩ වෙලා.  අමෙරිකාවට අවශ්‍ය වී තිබෙන්නේ මේ රටේ දේශපාලන වෙනසක් කිරීමටයි. නමුත් ඔවුන් දන්නවා මැතිවරණයකින් මේ රටේ දේශපාලනය වෙනස් කරන්න බැහැ කියලා. මේ රටේ මාස හයකට වරක් මැතිවරණයක් පවත්වනවා. නමුත් ජනතා මතයට අතගසා මෙය කරන්න බැහැ කියා බටහිර බලවේග දන්න නිසා තමයි මේ යෝජනා මඟින් සිදු කරන්නේ.”

    මාධ්‍ය හමුව අද පස්වරුවේ හම්බන්තොට පී කොක් හෝටලයේදී පැවැත්විණි.

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya