මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමුපකාරය දේශපාලන ඇඟිලි ගැහීම්වලින් තොර ව්‍යාපාරයක් බවට පත් කරන්න ඕනෑ

    මාර්තු 28, 2014

    දේශපාලන ඇඟිලි ගැහීම්වලින් තොර ව්‍යාපාරයක් බවට පත් කරන්න ඕනෑ බවත් කිසියම් කෙනෙක් මේ පළාතේ සමුපකාරවලින් ගසා කාලා තියනවා නම් හොරකම් කරලා තියනවා නම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.


    අමාත්‍යවරයා එසේ පැවැසුයේ පසුගියදා පහසුකම් වැඩි දියුණු කර නවීකරණය කරන ලද බොරලැස්ස අධිශ්‍රේණි සමුපකාර ග්‍රාමීය බැංකු ශාඛාව සහ සුපර් කෝප්සිටි වෙළඳසැල ජනතා සේවයට ලබාදීමේ උත්සවයට සහභාගී වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, සමුපකාර ක්ෂේත්‍රය අලුත් තාලයකට අලුත් වැඩපිළිවෙළක් එක්ක අලුත් විදියකට වයඹ පළාත තුළ ගොඩනැගෙනවා.

     

    "Co-op city" සංකල්පය වගේ ම සමුපකාර ග්‍රාමීය බැංකු අලුත් ලාංඡන, අලුත් සංකල්ප එක්ක ඇවිත් අලුත් දෙයක් ගොඩනඟලා අලුත් ජනප්‍රියත්වයක් ලැබිලා තියනවා. ලංකාවේ තියන අනිත් බැංකු එක්ක ගත්තාම මහා ලොකු ප්‍රසිද්ධියක් නැති වුණත් මහා ලොකු වැඩපිළිවෙළක් නැති වුණත් ග්‍රාමීය බැංකු ක්ෂේත්‍රය කියන්නේ ලංකාවේ ප්‍රබලම බැංකු ක්ෂේත්‍රයක්.

     

    අපේ ජනාධිපතිතුමා 2007 වසරේදී  සමුපකාර ක්ෂේත්‍රය තුළ තිබ්බ දැවැන්තම ප්‍රශ්නය අවසන් කළා. තිබුණු අයිරාවන්, ණය, බදු සියල්ල කපා හැරියා. 100%ක් පිරිසිදු අලුත් ව්‍යාපාරයක් පටන් ගත්තා වගේ මේ සමුපකාර ක්ෂේත්‍රය ඉදිරියට ගෙනියන්න එතුමා විශාල සහනයක් සලසලා දුන්නා. මේ වගේ සහන ලබා දීලා වැඩ කරන්නත් බැරි නම් ඉතින් ඒක සමුපකාර ක්ෂේත්‍රයේ ම ප්‍රශ්නයක්. එහෙම නැත්නම් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රශ්නයක්. එහි සම්පූර්ණ වගකීම සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය බාරගන්න ඕනෑ. විශාල පහසුකම් ප්‍රමාණයක් අපි දීලා තියනවා.

     

    දැන් අනාගතේදී එනවා කාලයක් නැතුව බදු සහන. ඒ කියන්නේ සම්පුර්ණයෙන් 100ක් බදු සහන ලබාදෙන ක්ෂේත්‍රයක් බවට පත් කරලා තියනවා. පහුගිය කාලේ මම විවිධ සේවා සමිතිවල සභාපතිවරු එක්ක කතා කරා. විශේෂයෙන්ම ඔවුන්ට තියන ගැටලු. ඒවාට අවශ්‍ය විසඳුම් ප්‍රමාණය අපි ලක ලැහැස්ති කරගෙන තියනවා. අපේ දේශපාලඥයෝ සමහරු මේ සමුපකාරය පාවිච්චි කරනවා තමන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන්. සභාපතිවරයාට වැඩ කරන්න වෙන්නේ නැහැ.

     

    දේශපාලනඥයා ඉන්නේ සභාපතිවරයාගේ පුටුවේ. දේශපාලනඥයා එනකොට සභාපතිවරයා නැගිටලා යන්න ඕනෑ. මේක හරිහමන් විදියට දේශපාලන ඇඟිලි ගැහීම්වලින් තොර ව්‍යාපාරයක් බවට පත් කරන්න ඕනෑ. ඇඟිලි ගැහුවට කමක් නැහැ හරි දෙයක් කරනවා නම් විතරක්. සමුපකාර ඡන්ද ක්‍රමයේත් අඩුපාඩු ගොඩක් තියනවා. ඒවා නිවැරදි වෙන්න ඕනෑ.


    හොරුන්ට මගෙන් ගැලවීමක් නැහැ.කිසියම් කෙනෙක් මේ පළාතේ සමුපකාර වලින් ගසා කාලා තියනවානම් හොරකම් කරලා තියනවානම් ඒ අයව හොයාගෙන මම දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ගැන කිසි ගැටලුවක් තියාගන්න එපා. මම මෙතන ඉන්න අවුරුදු 5 ඇතුළත මේ සමුපකාර ක්ෂේත්‍රය දියුණු කරලා යන්න ඕනෑ. ඒක මම කිසි වෙලාවක මගේ දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැහැ.

     

    දේශපාලන අදහස් එක්ක මිනිස්සුන්ට අලුත් අලුත් දේවල් හදලා දීලා  අලුත් දේවල් නිර්මාණය කරලයි අපි දේශපාලන වශයෙන් ශක්තිමත් වෙන්න මේවා පාවිච්චි කරන්න ඕනෑ. ඒ වගේම අනෙක් පැත්තෙන් සමාජයට සේවයක් වෙන්න ඕනෑ. මේ දෙකම හරියට ක්‍රියාත්මක වුණොත් විතරයි සමාජයට සේවයක් වෙන්නේ.සමහර සමුපකාරවල සමිතිවල  සේවකයන්ට දෙන සමුපකාර අත්තිකාරම සභාපතිවරයා අරගෙන. නැත්නම් අධ්‍යක්ෂ මණ්ඩලය අරගෙන. අරගෙන විතරක් නෙවෙයි ගෙවලත් නැහැ. මේවා මේ කරන්නේ හරියට පරිපාලනයක් මුදල් පාලනයක් නොදන්න මිනිස්සු.

     

    අහිංසක මිනිස්සුන්ට දෙන්න තියන සල්ලි මේවා. රුපියල් 10 000 අරගෙන ඒක ගෙවන්නේ නැතුව තව අවුරුද්දක් කල් දාලා. මෙහෙම සමුපකාර දුවන්න බැහැ. අනිවාර්යෙන් මම මේවට නීතිරීති ගේනවා. කිසිම විදියක ඇඟිලි ගැහීමකින් තොරව ඡන්ද පවත්වන්න, නිවැරදි ක්‍රියාදාමයක් අරන් යන්න, වැරදි කරුවන්ට දඬුවම් දෙන්න. මේ කියන කාරණා තුන හරියට ක්‍රියාත්මක වුණොත් සමුපකාර ක්ෂේත්‍රය රැකගන්න පුළුවන්. දැන් අවුරුදු 50ක් මේ බැංකු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. තව අවුරුදු 500ක් මේ බැංකුව අපි ඉස්සරහට යන්න ඕනෑ. මම මෙතෙන්ට ආවේ මේවා ගහගෙන කන්න නෙවෙයි. මේවා ගොඩ නගන්න. මේ මනුස්සයා මෙන්න මේ කාලය තුළ සමූපකාර ක්ෂේත්‍රය හදන්න මහන්සි වුණා කිව්වාම හොඳටම ඇති.

     

    ඒ හැර වෙන මොකුත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.මම පළාතට නායකත්වය දෙන්න මිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයට නායකත්වය දෙන්න ආවේ නැහැ. මම මේ වෙනකොටත් ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා තියනවා. ඒ වෙනුවෙන් සියලු ම දෙනාගේ සහයෝගය මම අපේක්ෂා කරනවා.මෙම අවස්ථාවට සමාජ සුභසාධන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, වයඹ පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු මන්ත්‍රීවරු ඇතුළු මැති ඇමතිවරුන් ද සමුපකාර සමිති කොමසාරිස්වරුන් ද  ග්‍රාමීය බැංකු සංගමයේ සභාපති, සමුපකාර සංගමයේ සභාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya