අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුධිර පාරවිලයන සේවා ව්‍යාප්ත කරමින් ප්‍රාදේශීය ලේ බැංකු ඇති කිරීමට පියවර ගන්නවා Featured

    ජූනි 15, 2014

    රුධිර පාරවිලයන සේවාව තවත් ඉදිරියට ගෙන යමින් දැනට දිවයින පුරා ඇති රෝහල්වල පවතින ලේ බැංකු 90ට අමතරව ප්‍රාදේශීය ලේ බැංකු ඇති කිරීමටත් රෝහල්වල අලුතින් ලේ බැංකු පිහිටුවීමටත් පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.


    ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශිත ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දින ජාත්‍යන්තර වැඩසටහන සෙනසුරාදා (14) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු අතර එයට සමගාමීව පසුගිය සිකුරාදා කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී වෛද්‍ය මහීපාල මහතා ඒ බව කියා සිටියේය.


    ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයන සේවාවන් කලාපයේ ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නා බවත් එහිදී අනුගමනය කරන ආරක්ෂිතභාවය හා ගුණාත්මකභාවය ඉතා ඉහළ මට්ටමක පවතී. මෙරට රෝගීන් සඳහා වන රුධිර අවශ්‍යතාවන් 100%ක් ම සපුරාගන්නේ රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ස්වේච්ඡා පදනමිනි. මෙය දකුණු ආසියානු කලාපයේ සුවිශේෂ කාරණයක් වන අතර මෙවර ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ප්‍රධාන හේතුවක් වූයේ එයයි. ස්වේච්ඡා පදනමින් රුධිරය පරිත්‍යාග කරන අයගෙන් ලබාගන්නා රුධිරය විවිධ ක්‍රමවේද භාවිත කරමින් විවිධ පර්යේෂණ කරමින් ඒවාට විෂබීජ ඇතුළු නොවන ලෙස නව තාක්ෂණය යොදා තිබෙන බව ද මහීපාල මහතා කීය. පරිත්‍යාගශීලින්ගෙන් ලබා ගන්නා රුධිරය වෙනත් අයෙකුට ලබාදීමට පෙර එච්.අයි.වී. (ඒඩ්ස්) ඇතුළු රෝගකාරක තුනක් සම්බන්ධයෙන් පමණක් බොහෝ රටවල පරීක්ෂාවට ලක් කෙරේ. නමුත් ශ්‍රී ලංකාව එවැනි රෝගකාරක පහක් සම්බන්ධයෙන් පරීක්ෂා කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.


    මෙරට ප්‍රධාන රෝහල් 90ක ලේ බැංකු පිහිටුවා තිබෙන අතර ඒවා නිසි ක්‍රමවේදයන් සහිත ව පවත්වා ගෙන යන බව ද ඔහු අවධාරණය කළේය.


    මෙහිදී අදහස් දක්වමින් ජාතික රුධිර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා පැවසුවේ 2012 දී මෙරට රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිර ඒකක (මි.ලී. 450) 350,000ක් ද 2013 දී ඒකක 380,000ක් ද ලැබුණු බවයි. එසේ ම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති මෙරට පවතින පෞද්ගලික රෝහල්වලට ද ඉල්ලුම්පත්‍රයක් යොමු කළ විට ලේ සපයන බවත් ඒ සඳහා පරීක්ෂණ ගාස්තු ලෙස රුපියල් 1000ක පමණ මුදලක් පමණක් අයකරන බවත් වෛද්‍ය දිසානායක මහතා පැවසීය.


    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා ආචාර්ය පූනම් ඛේත්‍රාපාල් සිං මහත්මිය ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) ආනන්ද ගුණසේකර මහත්වරුන් ද දකුණු ආසියා කලාපය නියෝජනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරු ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

     
    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya